ප්‍රකෝටිපති කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් පසුගියදා සිඩ්නි නුවර, බොන්ඩි බීච් හිදී සිය හොඳම මිතුරෙකු වූ ඩේවිඩ් ගින්ජල් සමග මහ පාරේදී මදි නොකියන්න ගහමරා ගැනීමේ සිද්ධිය මූලික කරගෙන ඔස්ට්‍රේලියානු පොලීසිය පැකර්ට දඩ ගසා ඇති බව වාර්තා වෙයි.
අවිනීත හා ප්රකෝපකාරී හැසිරීම මූලික කරගෙන පැකර්ට මෙන්ම ගින්ජල්ටද ඇ.ඩො.467ක (රු.60,000/- ක පමණ) දඩ මුදලක් නියම කර ඇති අතර, මේ සම්බන්ධයෙන් දෙපාර්ශ්වයෙන්ම පැමිණිල්ලක් නොලැබුණත්, පොලීසිය විසින් සිදුකළ පරීක්ෂණයකට අනුව මෙම දඩ මුදල නියම කර ඇති බව පැවසෙයි.
පසුගිය ඉරිදා මෙම පැරණි මිතුරන් දෙදෙනා බලු පොරයක් ආකාරයෙන් මහ පාරේ ගුටි කෙළියකට මුල පිරුණු හේතුව සම්බන්ධයෙන් දෙදෙනාම කිසිවක් ප්‍රකාශ නොකළත්, එය පැකර්ගේ අලුත් පෙම්වතිය සම්බන්ධ ප්‍රශ්නයක් බවටද මතයක් පවතී.
චැනල් නයින් හිමිකරු වන ගින්ජල්ගේ ආයතනයට අයත් මෝටර් රථයක් පැකර්ගේ නිවස අසල ගැවසීමෙන් පැකර් ප්රකෝපකාරී වී ඇති බව එක් වාර්තාවක කියවෙයි.
එමෙන්ම, පැකර් සිය දෙවැනි බිරිඳ හා විවාහ වනවිට එහි දෙවැනි මනාලයා ලෙසද සිටි ගින්ජල්, ඔහු ඇයගෙන් වෙන්වීමට තීරණය කරන විට ඊට තදින්ම විරුද්ධ වූ පුද්ගලයා බවද කියැවෙයි.
කෙසේ වෙතත්, ඇයගෙන් වෙන්වූ පැකර් දැන් අලුත් රූමතියක් සමග දිවිගෙවන අතර, චැනල් නයින් වාහනය තමාගේ සහ තම පෙම්වතියගේ තොරතුරු සෙවීමේ මෙහෙයුමකට පැමිණියාදැයි යන සැකය පැකර් තුළ ඇතිවූවා වීමටද පුළුවන් යැයි තවත් මතයක් පවතී.
කෙසේ වෙතත්, මේ කවර හෝ සිදුවීමක් මූලික කරගෙන විටෙක බොක්සිං තරගයක් මෙන්ද, වරෙක රෙස්ලින් තරගයක් මෙන්ද, තවත් වරෙක ජූඩෝද සිහි කැඳවමින් ඔවුන් කොතරම් ප්රකෝපකාරී වූවාද කියතොත්, මේ නාටකය අවසානයේදී ඔවුන්ගේ පෞද්ගලික ආරක්ෂකයන් වැටුණු දත් සෙවූ බවද සිද්ධිය ඇසින් දුටුවෝ පැවසූහ.
අවසානයේදී සිදුවීමෙන් දිනක් ගතවෙත්ම ඔවුන් දෙදෙනාම එක්ව ප්‍රකාශයක් කරමින්, තමන් දිගුකාලීන මිත්‍රයන් බවත්, මෙය මෙතැනින් අවසන් බවත් පවසමින් සිද්ධිය වහාම යටපත් කිරීමට උත්සාහ කළේය.
කෙසේ වෙතත්, මේ අවිනීත හා ප්රකෝපකාරී හැසිරීම වෙනුවෙන් පැකර්ට් හා ගින්ජල්ට දඩ පැනවෙන විට පොලීසිය ඔවුන්ගේ නම් භාවිත නොකර වයස 46 මිනිහා සහ 48 මිනිහා යැයි දක්වා තිබීමද විශේෂත්වයක් විය.
එමෙන්ම මේ සිදුවීම ලෝක ජනමාධ්‍යයේ ඉතා වේගයෙන් ප්‍රචාරය වූ අතර, එම ඡායාරූප ඩොලර් මිලියන ගණනකට මිලදී ගැනීමට ලොව ප්‍රබල මාධ්‍ය ආයතන කටයුතු කර තිබුණි.