පසුගිය වසරේදී මෙරටට ආනයනය කරන ලද මසුන් සහ මත්ස්‍ය නිෂ්පාදන ප්‍රමාණය ඉන් පෙර වසරට සාපේක්ෂව දෙගුණයකින් ඉහළ ගොස් ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
සුදුවැල්ල ධීවර වරායේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරමින් අමාත්‍යවරයා මෙම කරුණු අවධාරණය කළේය.
2014 වර්ෂයේ මෙරටට ආනයනය කළ මසුන් සහ මත්ස්‍ය නිෂ්පාදන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 78,712 ක් බවත් ඒ සඳහා මෙරටින් විදේශයට ඇදීගිය මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 18,860 ක් බවත් ඔහු කීය.
2015 වසරේදී මෙරටට ආනයනය කරන ලදමසුන් හා මත්ස්‍ය නිෂ්පාදන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 120,046 ක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම ඒ සඳහා රජය විසින් වැය කර ඇති මුදල රුපියල් මිලියන 30,729 ක් වන අතර, 2014 ට සාපේක්ෂව 2015 දී මත්ස්‍ය අපනයනය සඳහා වැයකර ඇති මුදල සහ අපනයනය කරන ලද ප්‍රමාණය දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.