අද රට පුරා අපරාධ රැල්ලක් පවතින බවත්, මන්ත්‍රීවරු, ප්‍රදේශීය සභා උපසභාපතිවරු ඝාතනය කළ අතර, කතරගම කිරි වෙහෙරේ විහාරාධිපති හිමියන්ටද වෙඩි තබා ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
පවුල් පිටින්ම මරලා දාන තත්ත්වයට අද රට පත්වී ඇති බවත්, මේ පිළිබඳව වගකිව යුත්තන් නිදැල්ලේ සිටින බවත් ඒ මහතා පැවසීය.
හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ පෙරේදා (16දා) වරකාපොළ,තල්ලියද්ද ආනන්ද බෝධි විවේකාශ්‍රමයේ අභිනවයෙන් ඉදිකළ නව දෙමහල් සංඝ ශාලාව විවෘත කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා,
" අනුන්ට හොරා කියමින් ඒ අයම මහ බැංකුව හොරා කෑවා. හොර කාපු එකාගෙන් 118 දෙනෙකු සල්ලි ගෙන තිබෙනවා. අද වෙනකොට අගමැති ජනාධිපතිට, ජනාධිපති අගමැතිට, මන්ත්‍රීවරුන්ට චෝදනා කරගනිමින් සිටිනවා. ජනතාවටද ඒ සමග පහර ගහනවා. එදා මාව පරද්දන්න සිරිසේන මහත්තයාට ඡන්දේ දුන්නා. දැන් ඒ වගකීමෙන් එතුමාට මිදෙන්න බෑ.
ඒ වගකීම වෙන අයට පැවැරීමට අයිතියක් නෑ. මම දන්නේ නෑ. මමත් පත්තරෙන් දැක්කේ. එහෙම කියන්න බෑ. මෙහෙම ගියොත් රටක් නැති වෙනවා. ව්‍යවස්ථාවක් හදනවා කියලා වසර ගණනාවක් ගියා. 19 වැනි ව්‍යවස්ථා සංසෝධනයෙන් අපේ අයිතිය නැති කළා. උසාවියට ගෙනමින්,පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කරමින්, ව්‍යවස්ථා හදමින් තම බලය තහවුරුකර ගැනීම හැර වෙනත් දෙයක් මේ ආණ්ඩුව සිදු කරලා නෑ. ජනතාව පීඩාවට පත් කිරීම පමණයි සිදුවන්නේ. රණවිරුවෝ අද හිරේට දානවා. රණවිරුවන්ගෙන් හිර ගෙවල් පුරවනවා. මෙවැනි තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. අපි මේ පිළිබඳව අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතුයි.
අද පොලීසිය උදේ ඉඳන් භාවනා කරනවා. භාවනා කරලා ඉවර වෙලා බලනකොට මිනිස්සු මරලා දාලා ඉවරයි. අපි භාවනාව හොඳ නෑ කියනවා නෙමෙයි භාවනාව හොඳයි. රටේ මංකොල්ල කෑම්,මිනීමැරුම්,ගෙවල් බිඳුම් වැඩි වෙලා. කෘෂිකර්මාන්ත බිඳ වැටිලා ජනතාවට ජීවත්වීමේ ගැටලු තියෙනවා. ජනතාව දවසට අද එක වේලක් කන තත්ත්වයට පත්වෙලා. එම නිසා මෙම තත්ත්වය වෙනස් කළ යුතුයි" යනුවෙන් පැවසීය.
වරකාපොල රංගන රුවන්/වසන්ත රෝහණ