විශේෂ අධිකරණ තුනක් පත්කිරීමට ආණ්ඩුව සූදානම් වනුයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිරගත කර නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට බව නීතිඥ කළ්‍යානන්ද තිරාණගම මහතා පැවසීය.
මෙම විශේෂ අධිකරණවල දිනපතා සාක්ෂි විමසීම් සිදුකරන බැවින් චෝදනාවන්ට ලක්ව ඇති මන්ත්‍රීවරුන්ට රිමාන්ඩ් භාරයේ සිට නඩු කටයුතුවලට සහභාගි වීමට සිදුවන බවත්, එවැනි අවස්ථාවකදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර බලයකින් ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට අවස්ථාව ලැබෙන බවත් තිරාණගම මහතා පෙන්වා දෙයි.
එළැඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස දෙමළ සන්ධානයෙන් හා ජාත්‍යන්තර සංවිධානවලින් ආණ්ඩුවට බලපෑම් එල්ලවී තිබෙන බවද ඒ මහතා පැවසීය.
“දූෂණ, වංචාවලට සම්බන්ධ පුද්ගලයන්ට විරුද්ධව නඩු පවරන්න පවතින නීතිය හොඳටම ප්‍රමාණවත්.ඒ සඳහා දණ්ඩ නීති සංග්‍රහය,රජයේ දේපොළ පිළිබඳ පනත, අල්ලස් හා දූෂණ මර්දන පනත, විදේශ විනිමය පනත යොදාගන්න පුළුවන්. ඒ නිසා අලුත් නීති අවශ්‍ය නැහැ.
මේ වනවිට ආණ්ඩුව අලුත් නීති ගෙන එන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට අවශ්‍ය නිසයි. දෙමළ සන්ධානය ඇතුළු විදේශ රටවලින් ඒසඳහා බලපෑම් එල්ල වෙමින් තිබෙනවා. ලබන සිංහල අලුත් අවුරුද්දට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට යනවා.එහිදී ව්‍යවස්ථාවට විරුද්ධව කතාකරන මන්ත්‍රීවරු අත්අඩංගුවේ තියලා ඔවුන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි තත්ත්වයක් ඇති කිරීමට අවශ්‍ය වෙලා තියෙනවා.එමගින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක හා ජනමත විචාරණයක් වුණත් සම්මත කරගන්න පුළුවන්.
විශේෂ නඩුකාරයන්ගේ උසාවි තුනක් හදන්නේ ඒ සඳහා. එම උසාවි පටන්ගත් විට නඩුවේ චෝදනා ලබන හැම කෙනාම අනිවාර්යයෙන්ම රිමාන්ඩ් කරනවා.ඔවුන් හිර භාරයේ තියාගෙන දවසින් දවස නඩුව අහනවා.එම නඩුව ඉවර වෙනකම් විත්තිකාරයන්ට එළියට එන්න බැහැ.ආණ්ඩුව සූදානම් වෙන්නේ ඒකට* යනුවෙන් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.