ලංකාවේ අවම වැටුප රුපියල් 10,000 ක් බවට පත්කරමින් පනතක් සම්මත කරගත්තත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විවිධ දීමනාද ඉහළ නංවා තිබෙන බවත් යහපාලන ආණ්ඩුව මන්ත්‍රීවරුන්ගේ පමණක් මඩි තද කරගැනීමට කටයුතු කිරීම පිළිබඳව තමන් විරුද්ධ බවත් පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පා.ම.උදය ගම්මන්පිල මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ පිවිතුරු හෙළ උරුම පක්ෂ මූලස්ථානයේ ඊයේ (15දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි. රුපියල් 10,000 ක අවම වැටුපක් ලබන කෙනෙකුට අද ජීවත්විය නොහැකි බවත්, යහපාලන ආණ්ඩුවෙන් ලබාදීමට පොරොන්දු වූ සියලු සහන දීමනා කපාහැර ජනතාවගේ බදු වැඩි කරගනිමින් මන්ත්‍රීවරුන්ගේ පමණක් මඩි තද කරගැනීමක් කරන බවත් ඔහු සඳහන් කළේය.
තවදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා,“පසුගිය සිකුරාදා ලංකාවේ අවම වැටුප රුපියල් 10,000 කරනවා කියලා පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තා. මේ පනත ගැන රටපුරා මහා පුරසාරම් දෙඩෙව්වා. පෞද්ගලික අංශයට ඉතිහාසයේ ප්‍රථම වතාවට අවම වැටුපක් අපි නියම කළා යැයි කිව්වා. මේක පුස්සක්, ප්‍රෝඩාවක්. මේ වගේ අවම වැටුප නියම කිරීමේ අවශ්‍යතාවකුත් නෑ.
ඔබට මතක ඇති 2008 වර්ෂයේ එවක සිට වෙළෙඳ ඇමති ප්‍රකාශයක් සිදු කළා 2500 න් ජීවත්වෙන්න පුළුවන් කියලා. එදා තමුන්නාන්සේලා එකතුවෙලා, එක්සත් ජාතික පක්ෂයේ දැන් ඉන්න ඇමතිවරු එකතු වෙලා එම ප්‍රකාශයට හොඳටම බැට දුන්නා. දැන් මොකද මේ වෙලා තියෙන්නේ. අවම වැටුප රුපියල් 10,000 ක් කියලා පාර්ලිමේන්තුව වාර්තා කරනවා.
ජනතාවට දෙන්න පොරොන්දු වුණ සහන දීමනා ඔක්කෝම නතර කරලා. ජනතාවට තියෙන සහන කපමින් ජනතාවගේ බදු වැඩි කරමින් මන්ත්‍රීවරුන්ගේ පමණක් මඩි තද කරගැනීමට අපි විරුද්ධයි" යැයි පැවසීය.
නිරාෂා රණසිංහ