පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සියලු දෙනාට ඇ.ඩො.62,500 බැගින් වූ වාහන පර්මිට් ලබාදී ඇති බවත්, එම වාහන පර්මිට් මේ වනවිට රු.ලක්ෂ 180 සිට රු.ලක්ෂ 200 දක්වා වූ මිල ගණන්වලට අලෙවි වන බවත් 'අද' ට වාර්තා වේ.
ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන් 225 දෙනා වෙතම පසුගිය සතියේ සිට මෙම වාහන පර්මිට් ලබාදීම අරඹා ඇති අතර, මේ වනවිට සියලු මන්ත්රීවරුන් එම වාහන පර්මිට් ලබාගෙන ඇති බවද වාර්තා වේ.
ඇ.ඩො.62,500 ක් වූ වාහන පර්මිට් එක සඳහා එකතු කළ අගය මත බද්ද, ජාතිය ගොඩනැගීමේ බද්ද සහ වරාය හා ගුවන්තොටුපළ ගාස්තු පමණක් ගෙවිය යුතු වෙයි. මෙම වාහන පර්මිට් යොදාගෙන ඕනෑම මාදිලියක වාහනයක් ආනයනය කිරීමේ හැකියාව පවතින අතර, එය ඕනෑම අයෙකුට පැවරීමේ හැකියාවද පවතී.
එමෙන්ම, ගෙන්වන වාහනයේ එන්ජින් ධාරිතාවයේද සීමාවක් නොමැති අතර, එය ඩීසල් හෝ පෙට්රල් මාදිලියේ ඕනෑම වාහනයක් සඳහා වලංගු වේ.
මෙම බලපත්රය යොදාගෙන වැඩි වශයෙන් අධි සුඛෝපභෝගී විශාල ඩීසල් වාහන ගෙන්වීමේ ප්රවණතාවක් පවතින අතර, දැනටමත් බොහෝ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් මෙම වාහන පර්මිට් රු.ලක්ෂ 180 සිට රු.ලක්ෂ 200 දක්වා වූ මිල ගණන්වලට විකිණීම අරඹා තිබේ. ඇතැම් අවස්ථාවල මෙම වාහන පර්මිට් රු.ලක්ෂ 225 දක්වා වූ මිල ගණන්වලටද විකිණෙන බවද කියැවෙයි.
මෙම වාහන පර්මිට්වලට අමතරව, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 225 දෙනාටම රජයේ වියදමින් එක් වාහනය බැගින් එකම මාදිලියක වාහනයක් ලබාදීමේ වැඩපිළිවෙළක් පිළිබඳවද කතාබහ කෙරී ඇති බව 'අද' ට වැඩිදුරටත් වාර්තා වේ.