පසුගිය ජනාධිපතිවරණ ප්රචාරක සමයේදී කහවත්ත නගරයේ සංවිධානය කළ ප්රචාරක රැස්වීමක සැරසිලි කඩා දමා එහි සිටි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු හත් දෙනෙකුට ඊයේ (13දා) රත්නපුර මහාධිකරණ විනිසුරු යූ.එස්.බී. කරලියැද්ද මහතා හමුවේ අධිචෝදනා නවයක් බාරදෙනු ලැබීය.
මෙලෙස අධි චෝදනා ලැබුවේ සබරගමු පළාත් සභාවේ මන්ත්‍රී අරුණ නිලන්ත ජයසිංහ, කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මානික්ක වඩුගේ වජිර දර්ශන ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී හල්කඳලිය ලේකම්ලාගේ ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලී, පැලවත්තගේ පැතුම් ධනංජය නොහොත් පැලා, උඩහදා සීලගේ අසංක නාමල් නොහොත් සාජන්ටු, උක්කන්දගේ තිලංක ප්‍රදීප් සහ ඌරුපැලැව්වේ ගමඇතිරාළලාගේ අජිත් මලවි ගුණරත්න නොහොත් මලවි යන හත්දෙනාය.
කහවත්ත නගරයේදී 2015 ජනවාරි මස 05 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී ඉහත නම් සඳහන් විත්තිකරුවන් පැමිණිල්ල නොදත් අන් අය සමග ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාට ආධාර පිණිස රැස්වීමක් පැවැත්වීමට කහවත්ත නගරයේ කළ සැරසිලි කඩාදැමීම සහ තුවාල සිදුකිරීම අරමුණු කරගෙන නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන්ව, එම ක්රියාකලාපයේදී වීරසිංහගේ කරුණාදාස වීරසිංහ සහ මොහොමඩ් හුසේන් ඉල්පාන් යන අයට වෙඩි තබා තුවාල සිදුකර මිනීමැරීමට තැත් කිරීම, බියවැද්දීම, දොඩංගොඩගේ සුනිල් පෙරේරා නොහොත් ශාන්ත දොඩම්ගොඩ යන අයගේ මරණය සිදුකිරීම ඇතුළු අධිචෝදනා නවයක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබිණි.
විත්තිකරුවන්ට විරුද්ධව සාක්ෂි පනස් නවයක් සහ නඩු භාණ්ඩ 16 ක් පැමිණිල්ල විසින් නම් කර තිබිණි.අධිචෝදනා ඉදිරිපත් කළ පසු එක් විත්තිකරුවෙකුට රුපියල් පන්දහසක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප තුන බැගින් මහාධිකරණ විනිසුරුවරයා විසින් නියම කරනු ලැබීය.
මේ අවස්ථාවේදී හත්වැනි විත්තිකරු වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ නලීන් ඉන්දතිස්ස මහතා පැවසුවේ ලඝු නොවන නඩු විභාගයේ සාක්ෂිකරුවන් දුන් සාක්ෂිවල සටහන් අධිචෝදනා සමග අමුණා නැති බවයි. නඩු භාණ්ඩවලට අයත් රස පරීක්ෂක වාර්තාවක්, පශ්චාත් වෛද්‍ය වාර්තා දෙකක් ලැයිස්තුගත කර ඇති බව සඳහන්ව ඇතත්, ඊට අදාළ ඇමුණම් කිසිවක් අධිචෝදනා සමග විත්තිකරුවන්ට ඉදිරිපත් කර නැති බවද ඔහු කීය.
මේ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා පැවසුවේ තමා දන්නා පරිදි එම ලේඛන අධි චෝදනා සමග අමුණා අධිකරණයට එවා ඇති බවයි. යම් හෙයකින් ඒවා වාර්තාවේ නැත්නම් ලබන නඩු දිනයේදී ඒවා විත්තිකරුවන්ට ලබාදීමට කටයුතු කරන බවද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා අධිකරණයේදී පැවසීය. එසේම සිද්ධිය වූ ස්ථානය අවට පිහිටි වෙළෙඳ සැල් තුනකින් සිද්ධිය වූ දින අලුයම 01.00 - 01.30 අතර කාලයේ දර්ශන ඇතුළත්ව ලබාගත් සීසීටීවී කැමරා තුනක දර්ශන ඇති ප්රතිඋත්පාදන තැටි සහ ජංගම දුරකථන වාර්තා අධිකරණයට ඉදිරිපත් කර ඇති බවද කී ඒ මහතා විත්තියේ නීතිඥවරුන්ට අවශ්‍ය නම් ඒවායේ උද්ධෘතද ලබාගත හැකි බව දැනුම් දුන්නේය.
එම සීසීටීවී කැමරා දර්ශන සාක්ෂි මෙහෙයවීමේදී පුළුල් තිර ඔස්සේ සාක්ෂිකරුවන්ට ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තු වන බවද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා දැනුම් දුන්නේ ය.එසේම මෙම නඩුව විමසීමේදී කල් ඇතිව දින නියම කළ හැකි නම් එය පැමිණිල්ලට පහසුවක් වනු ඇතැයිද අධිකරණයෙන් ඉල්ලීමක් කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා දැනුම් දුන්නේ ය.
මේ අවස්ථාවේ කරුණු දැක්වූ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන්ගේ අධිචෝදනා පත්‍රවල ඇතුළත්ව නොමැති සාක්ෂි සටහන්වල සහ සෙසු ලේඛනවල උද්ධෘත දින හතළිස් පහක් ඇතුළත විත්තිකරුවන්ට ලබාදෙන ලෙස පැමිණිල්ලට නියම කළේය.
එසේම රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයාගේ ඉල්ලීම සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුවේ ඊළඟ කැඳවීම් දිනය නොවැම්බර් 07 වැනිදාට නියම කළ අතර, 2017 වසරේ මාර්තු මාසයේ 06,07,08, 22, 24, 27, 28 සහ 29 යන දිනයන් සාක්ෂි විභාගයට නියම කළේය. එමෙන්ම සෑම විතතිකරුවෙකුගේම ඇඟිලි සටහන ලබාගැනීමටද මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.
අජිත්ලාල් ශාන්තඋදය