මධ්‍යම පළාත තුළ පිහිටි ගොවි බිම්වලට වන සතුන්ගෙන් සිදුවන වන හානි වළක්වා ගැනීම සඳහා විශේෂ වැට වර්ග දෙකක් හඳුන්වා දී ඇති බවත්, එම වැට වර්ග සහන පදනම මත පළාතේ ගොවීන් වෙත ලබාදෙන බවත් මධ්‍යම පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ ප්‍රසන්න පල්ලේමුල්ල මහතා සඳහන් කරයි.
මධ්‍යම පළාතේ කෘෂිකාර්මික කටයුතුවල නියැළී සිටින ගොවි ජනතාවගේ වගාවන්ට වන සතුන්ගෙන් සිදුවන හානි පිළිබඳව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී ඒ මහතා මේ බව පැවසීය.
මෙහිදී මෙම වැට වර්ග දෙකෙන් එකක් ගැල්වනයිස් කම්බිවලින් සකස් කළ කුඩා කොටු සහිත වැටක් බවත්, එම කොටු පහළ කොටසේ කුඩාවටත් ඉහළට යද්දී ලොකු වන ආකාරයටත් සකස් කර ඇති බැවින් මීයන් වැනි කුඩා සතුන්ට පවා එයින් ඇතුළු වීමට හැකියාවක් නොමැති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
එයට අමතරව ඉතාමත් සාර්ථක විදුලි වැටක්ද හඳුන්වා දී ඇති අතර, එය කම්බි පොට තුනකින් පමණ මුළු වගා භූමියම ආවරණය කළ හැකි ආකාරයට සකස් කරන බවත්, මේ සඳහා අවශ්‍ය විදුලිය ඉතා කුඩා සූර්ය කෝෂයකින් ලබාගන්නා අතර, මේ සඳහා විදුලිය වැය වීමක් හෝ බැටරි සවි කිරීමක් සිදු නොවන බවත් මෙම වැට සඳහා රුපියල් 20,000ක පමණ මුදලක් වැය වන අතර එයින් සියයට 50ක දායකත්වයක් පළාත් කාෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් දරණ බවත් අධ්යක්ෂවරයා ප්‍රකාශ කළේය.
රිළවුන්, දඬු ලේනුන් වැනි උඩින් පැමිණෙන සතුන් සඳහා මෙතෙක් සාර්ථක විසඳුමක් ලැබී නොමැති බවත්, උඩින් එන සතුන් සඳහා වායු රයිෆල් ලබාදීමේ ක්‍රමවේදයක් මෙතෙක් තිබුණද වායු රයිෆල් මගින් සතුන්ට වෙඩි තැබීමේදී එම සතුන් මරණයට පත්නොවී අධික වේදනාවක් එයින් විඳින අතර, වායු රයිෆල් ලබාදීම අනුමත කර නොමැති බැවින් දෙපාර්තමේන්තුවට වායු රයිෆල් ලබාදීමට හැකියාවක් නොමැති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
මෙම වැට වර්ග දෙකින් යම් වැටක් තමන්ට අවශ්‍ය නම් ඒ පිළිබඳව ගොවීන්ට තම දෙපාර්තමේන්තුවට දැනුම් දීමට හැකි බවද ඒ මහතා පැවසීය.
මහනුවර - මොහොමඩ් ආසික්