මධ්‍යම අධිවේගි මාර්ගයේ වැඩකටයුතු ආරම්භ කර ඇති බවත් එය කිසිදු ජගතෙකුට නතර කිරීමට නොහැකි බවත් කොතෙක් ප්‍රශ්න පැමිණියත් එහි කටයුතු ඉදිරියට ගෙන යෑම සඳහා තමන්ට අගමැතිතුමා උපදේස් දී ඇති බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය, පාර්ලිමේන්තු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (11දා ) පැවසීය.
මහනුවර ඩී.එස් සේනානායක පුස්තකාල ශ්රවණාගාරයට යාබදව රුපියල් මිලියන 600ක වියදමින් ඉදිකිරීමට යෝජිත නව ශ්රවණාගාරයට හා ගිනිනිවීම් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් ඇමතිවරයා මෙම අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“සමහර අය මහනුවර ප්‍රදේශයට ඇවිත් කියල තියෙනව මහනුවර- කොළඹ අධිවේගි මාර්ගය හදන්නෙ නෑ මිල අධිකයි කියල. මම ඒ අයට කියනව මොන ප්‍රශ්න දැම්මත් මහනුවර-කොළඹ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නතර කිරීමට පිරිසක් උත්සාහ ගනිමින් සිටියත්, කුමන බාධක ආවත් වත්මන් රජය යටතේ එහි වැඩ අවසන් කරනවා.
යහපාලන ආණ්ඩුව බලයට පත්වන විට මහනුවර-කොළඹ අධිවේගී මාර්ගයේ එක බිම් අඟලක් හෝ මැන තිබුණේ නෑ. වත්මන් රජය බලයට පැමිණි පසු මිනින්දෝරු දෙපාර්තුමේන්තුව මේ වනවිට කොළඹ සිට ගලගෙදර දක්වා ඉඩම් කට්ටි 25,000ක් මැන ඒවායින් 75 % කට වන්දි පවා ලබාදී අවසන් කරල තියෙනවා. ඉදිකිරීම් අවසාන වීමත් සමග මහනුවර ඉඩම්වල වටිනාකම 500 % කින් ඉහළ යනවා“ යැයි පැවසීය.