කාන්තාවන්ට මත්පැන් අලෙවි සැල්වල සේවය කිරීමට හා මත්පැන් මිලදී ගැනීමට තිබූ තහනම ඉවත් කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නිකුත් කළ ගැසට් නිවේදන දෙක අවලංගු කිරීමට ගත් තීරණයෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි සඳහන් කරමින් නිළියක වන සමනලී ෆොන්සේකා ඇතුළු කාන්තාවෝ එකොළොස් දෙනෙක්ඊයේ (17දා)ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.
ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නිකුත් කළ ගැසට් නිවේදන දෙක අවලංගු කිරීමට ගත් තීරණයෙන් කාන්තාවන්ගේ සම අවස්ථා අයිතීන් උල්ලංඝනය වී ඇතැයි පවසන පෙත්සම්කාරියෝ කාන්තාවන්ට සුරාසැල්වල සේවය කිරීම හෝ මත්පැන් මිලදී ගැනීම වළකාලීමට නීතිමය අයිතියක් නොමැති බව ප්‍රකාශ කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.
සමනලී ෂානිකා ෆොන්සේකා මහත්මියට අමතරව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ නිෂාන්ති බණ්ඩාරනායක, එම්.ඩී.ජේ.බී.ප්‍රනාන්දු, චන්දිමා රවිනි ජිනදාස, දීපාන්ජලී අබේවර්ධන,සබ්රීනා එසුෆුලි, ෂාරන්‍ය සේකරම්, රන්දුලා ද සිල්වා, මේනකා ගල්ගමුව,සුජාතා ගමගේ, විශාකා පෙරේරා තිලකරත්න යන කාන්තාවන් විසිනි.
පෙත්සම්කාරියන් ශ්‍රී ලංකා ජනරජයේ පුරවැසියන් වන අතර, විවිධ අධ්‍යාපන සුදුසුකම් සහිත ඔවුහු විවිධ රැකියාවල නිරතවද සිටිති.
නීතිඥ තමිලා දිනූෂී පෙරේරා මහත්මියගේ උපදෙස් මතනීතිඥ තිෂ්‍ය වේරගොඩ සහ නීතිඥ පුලස්ති රූපසිංහ යන මහත්වරුන් මාර්ගයෙන් ගොනුකළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යමංගල සමරවීර,එම අමාත්‍යාංශ ලේකම් ආර්.එච්.එස්.සමරතුංග සහ නීතිපතිවරයා නම් කොට ඇත.
පෙත්සම්කාරියන් විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම්වලට අනුව අංක 666 දරන සුරාබදු නිවේදනය පසුගිය ජනවාරි 10 වැනිදා අංක 2/2018 නමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ප්‍රකාශයට පත්කළ සුරාබදු නිවේදනයක් මගින් සංශෝධනය කළ බව සඳහන් කරතිබේ.
පසුගිය ජනවාරි 16 වැනිදා පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කාන්තාවන්ට මත්පැන් ඇලෙවි සැල්වල සේවය කිරීම හා මිලදී ගැනීමට අවසර දෙමින් මංගල සමරවීර මහතා විසින් ප්‍රකාශයට පත්කළ සුරාබදු ගැසට් නිවේදනය ඉවත් කළ බවට විවිධ මාධ්‍ය මගින් ප්‍රකාශයට පත්කළ බව සඳහන් කරන පෙත්සම්කාරියෝ, මෙම තත්ත්වයෙන් කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීම මෙන්ම එම මත්පැන් අලෙවි සැල්වල සේවය කිරීම වැළකෙන බවත්, ඉන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1)සහ 14(1)ජී යන වගන්ති යටතේ සමාන ලෙස සැලකීමේ තම අයිතිවාසිකම් කඩ වී ඇති බවත් පවසති.
කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීම මෙන්ම එම මත්පැන් අලෙවි සැල්වල සේවය කිරීම වළකාලීම මගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වන බව පවසන පෙත්සම්කාරියෝ, මංගල සමරවීර මහතා විසින් ප්‍රකාශයට පත්කළ සුරාබදු ගැසට් නිවේදනය ඉවත් කිරීම මගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ප්‍රකාශයක් නිකුත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.
කාන්තාවන්ට මත්පැන් අලෙවි සැල්වල සේවය කිරීම හෝ මත්පැන් මිලදී ගැනීම වළකාලමින් 2018 ජනවාරි 10 වැනිදා නිකුත් කළ 2/2018 දරන සුරාබදු දැන්වීමට අනුව ඇමතිවරයාට හෝ අමාත්‍යාංශ ලේකම්වරයාට කටයුතු කිරීමට නීතිමය අයිතියක් නොමැති බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටින පෙත්සම්කාරියෝ තම පෙත්සම විභාග කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1)සහ 14 (1)වගන්තිය අනුව මුදල් අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සිය අයිතිවාසිකම් කඩකර ඇති බවට ප්‍රකාශයක් කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.