මත්කුඩු, මත්පෙති අලෙවි කිරීම, ගෙන්වීම හා බෙදාහැරීම සිදුකරන පුද්ගලයන්ට මරණ දණ්ඩනය ලබාදීම සුදුසුද යන කාරණය පිළිබඳව රට තුළ සංවාදයක් ඇති කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
ජාත්‍යන්තර දුම්වැටි විරෝධී දින සැමරුමට සහභාගී වෙමින් ඊයේ (01දා) මේ බව සඳහන් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේ සමාජ ව්‍යසනයන් සිදුකරන, මත්පෙති, මත්කුඩු රට තුළින් තුරන් කිරීම සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යසාධක බළකාය හරහා රට තුළ පුළුල් ජාතික වැඩසටහන් ඉතාමත් ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.
තමා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන කාලයේ සිගරට් පැකට්ටුවේ පිටත ආවරණයේ 80෴ ක රූපමය අවවාද ඇතුළත් කරගැනීමට කටයුතු කරන විට, දුම්කොළ සමාගම්වල අධ්යක්ෂවරුන් ඉදිරියේ විත්තිකරුවෙකු ලෙස පෙනීසිටින්නට සිදුවූ බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් මිනිසුන්ගේ යහපත සඳහා මිනිසුන් විසින් ගනු ලබන තීරණවලදී අවසානයේදී මිනිසුන් ජයග්‍රහණය කරන බවත්, මේ නිසා ඒ ගැන සතුටු විය හැකි බවත්ජනාධිපතිවරයා පවසා සිටියේය. එහෙත් රටේ මත්ද්‍රව්‍ය පිළිබඳ තිබෙන පසුබිම පිළිබඳව කිසිසේත්ම සතුටු විය නොහැකි බවද ඒ මහතා පවසා සිටියේය.
අපේ රටේ ස්වාමීන් වහන්සේලා පැය 24 ම ධර්මය දේශනා කරන බවත්, හින්දු, ඉස්ලාම්, කතෝලික, දේවස්ථානවලද ඒ ඒ පූජකතුමන්ලා මත්ද්‍රව්‍ය නිවාරණය ගැන පුළුල්ව කතාකරන බවත් කී මෛත්‍රීපාල සිරිසේන මහතා එහෙත් ජීවිතවලට වඩා ඩොලර්, ශතවලට අගයක් දෙන මිනිසුන් අතරේනොමිනිසුන්ගේ අවශ්‍යතා පිළිබඳව පමණක් සිතන පිරිසක් සිදුකරන මෙම ජාවාරම ගැන රජයක් ලෙස මීට වඩා අවධානයක් යොමු කිරීමට කටයුතු කරන බවද කියා සිටියේය.