ලබන වසරේ ජනවාරි මාසයේ සිට මඩකලපුව ගුවන්තොටුපළේ ගමනාගමන කටයුතු ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා සඳහන් කළේය.
දුම්රියෙන් මඩකලපුවට පැමිණීමට පැය 8ක්ද, බස්රථයෙන් පැමිණීමට පැය 06ක්ද ගතවන බව කී ඇමතිවරයා, ගුවන්තොටුපළ විවෘත කිරීමෙන් පසු විනාඩි 45කින් එම ගමන පැමිණිය හැකි බව ප්‍රකාශ කළේය. එම ගුවන් තොටුපළේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව හෙතෙම මේ බව පැවසීය. ඒ අනුව ලබන දෙසැම්බර් මාසයේදී එහි ඉදිකිරීම් කටයුතු අවසන් කරන බවත්, ඒ සඳහා රුපියල් මිලියන 1400ක් පමණ වැයවෙතැයි අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කළේය.
මඩකලපුව ගුවන්තොටුපළ පරිශ්‍රයේ ගුවන්යානා අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක්, සැහැල්ලු ගුවන්යානා නවත්වා තැබීමේ අංගණයක්, ගුවන් නියමු පුහුණු පාසලක් ස්ථාපිත කරන්නැයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බවද නිමල් සිරිපාලද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
මෙම ගුවන්තොටුපළ විවෘත කිරීමෙන් අනතුරුව ආරුගම්බේ මුහුදු තීරය වැනි සංචාරක කර්මාන්තය සිදුකෙරෙන ප්‍ර‘දේශවලට පැමිණෙන දේශීය විදේශීය සංචාරකයන්ගේ සංඛ්‍යාව වැඩිකර ගැනීමට අවස්ථාව ලැබෙන බව ඇමතිවරයා පෙන්වා දුන්නේය.