ගෝනවල සුනිල්ට එරෙහිව හොරගොල්ල වලව්ව ආරක්ෂා කළේ තමන් බවත්, ජේ.ආර්. ජයවර්ධන හා රනිල්ගේ යූ.ඇන්.පී. ආණ්ඩුවෙන් ආරක්ෂාවීම සඳහා තමන් නීතිවිරෝධී අවි ළඟ තබා ගත් බවත් මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පැවසීය.
වේයන්ගොඩ බඳුරාගොඩ කූරිකොටුව විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ ක්‍රීඩා උත්සවයක් අමතමින් අමාත්‍යවරයා ඉහත අදහස් පළ කළේය. මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, බණ්ඩාරනායක හොරගොල්ල වලව්වේ මෙන්ම, රොස්මඩ් පෙදෙස නිවහනේද තමන්ට වෙනමම කාමරයක් තිබූ බවයි.
“මම වැඩියෙන් අදින්නෙ කොට කලිසම නැත්නම් සරම. බණ්ඩාරනායක පවුලට මම නැතිවම බැරි හිතවතෙක් වුණා. යූ.ඇන්.පී. ආණ්ඩුව තියෙන කාලෙ මගෙ ළඟ අනවසර අවි ආයුධ තිබුණා. බොරු කියන්න ඕන නෑනේ. මමයි මගේ යාළුවයි දවසක් බයිසිකලයෙන් යනකොට එක්සත් ජාතික පක්ෂ මැරවරයෝ පිරිසක් මගේ පස්සෙන් ආවා. බැරිම තැන මම බයිසිකලයෙන් බැහැලා අහසට වෙඩි තිබ්බා. ගෝනවල සුනිල්ට එරෙහිව හොරගොල්ල ආරක්ෂා කළෙත් මම” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.