කුරුණෑගල දිස්ත්රික් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් නායකයා ලෙස තමාගේ වගකීම නිවැරදිව ඉටුකළ බව අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධනයෙන් කුරුණෑගලින් තරග කළ බැවින් කුරුණෑගල දිස්ත්රික්කයේ සමස්ත මැතිවරණ ප්රතිඵලය කෙරෙහි දැඩි අවධානයකට යොමුව තිබුණි.
කුරුණෑගල දිස්ත්රික්කය තුළ මෙවර එජනිස ආසන 08 ක්ද එජාපය ආසන 07 ක්ද ලබාගත්තේය.
නමුත් 2010 වර්ෂයේ එජනිස කුරුණෑගලින් ආසන 10 ක් ලබාගත් අතර, එජාපය ආසන 05 කට සීමාවිය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගලින් මැතිවරණයට ඉදිරිපත් වුවද එජනිස 2010 වර්ෂයේ ලබාගත් ආසන 02 ක් මෙවර අහිමි වීමද විශේෂත්වයකි.
මේ තත්ත්වය තුළ එජාපය මෙවර කුරුණෑගල විශිෂ්ට ජයග්රහණයක් ලබාගත් බවද පැවසූ අකිල විරාජ් මන්ත්රීවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.
&කුරුණෑගල දිස්ත්රික් කණ්ඩායම් නායකයා ලෙස මම මගේ වගකීම නිවැරදිව ඉටුකළා. මගේ ආසනය දිනෙව්වා. ඒ වගේම සමස්ත දිස්ත්රික්කය තුළම අපි සංවිධානාත්මකව කටයුතු කළා. මට මනාප ඉහළ ප්රමාණයක් ලැබී තිබෙනවා කියා දැනගන්නට ලබුණා. මගේ වගකීම මම හරියට කළා. බල කණු පරාජය කළා.*