දේශපාලන ක්ෂේත්රය තුළ දැඩි කතාබහකට ලක්ව සිටින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අද (05 දා) උදෑසන සිංගප්පූරුව බලා යෑමට නියමිත අතර ඔහු යළි ශ්‍රී ලංකාවට පැමිණි පසු එ.ජා.පයේ රැඳී සිටින්නේද නැතහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ සන්ධානයට එක්වන්නේද යන්න පිළිබඳව අවසන් තීරණය ගනු ඇති බව මංගල සමරවීර මහතාට සමීප ආරංචි මාර්ග මගින් 'අද'ට වාර්තාවේ.
එක්සත් ජාතික පක්ෂය තුළ තමන්ගේ අනාගතය සම්බන්ධයෙන් යම් කළකිරීමකින් සමරවීර මහතා සිටින බව මේ වනවිට වාර්තා වේ. එයට එක් හේතුවක් වී තිබෙන්නේ මෙතෙක් කාලයක් ඔහු යටතේ තිබූ එ.ජා.ප. සන්නිවේදන අංශය පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත යළිත් ලබා ගැනීමය.
මේ නිසා ඔහු යම් කළකිරීමකින් සිටින බවත් තමන් පක්ෂයේ රැඳී සිටීමට නම් ඉටු විය යුතු කොන්දේසි කිහිපයක් පක්ෂ නායකත්වයට සමරවීර මහතා විසින් දන්වා ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි. මේ කොන්දේසි සිංගප්පූරු ගමනින් පසු ශ්‍රී ලංකාවට පැමිණීමේ දී ඉටු වී නොතිබුණහොත් සමරවීර මහතා සන්ධානයට එක්වීමට ඇති ඉඩ කඩ වැඩි වී තිබේ.
මේ වනවිටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වයෙන් මංගල සමරවීර මහතාට යළි ශ්‍රීලංනිපයට සම්බන්ධ වී රජයට එක්වන ලෙසට ආරාධනයක් ලැබී ඇති අතර, ඔහු එසේ පැමිණෙන්නේ නම් කැබිනට් මණ්ඩලයේ ඉතා වැදගත් අමාත්‍ය තනතුරක් ඔහුට ලබාදෙන බවට ද සඳහන්ව ඇතැයි ද වාර්තා වේ.
මේ අතර ඊයේ (04දා) සවස්වරුවේ මංගල සමරවීර, රවි කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, විජේදාස රාජපක්ෂ සහ අශෝක අබේසිංහ යන මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් පැවති බවද එය ඊයේ රාත්‍රිය වනතුරු පැවති බවද දැන ගන්නට ලැබේ. මේ සාකච්ඡාව සමරවීර මහතාගේ තීරණය සම්බන්ධ එකක් වීමට බොහේ දුරට ඉඩ ඇතැයි එ.ජා.ප ආරංචි මාර්ග පවසයි.
ආණ්ඩු පක්ෂයේ ප්‍රබල සාමාජිකයෙකු පැවසුවේ මේ වන විට එජාපයේ සිදුව ඇති ඇතැම් වෙනස්කම් නිසා කළකිරී සිටින මන්ත්‍රීවරු කිහිප දෙනෙකු , පළාත් සභා මන්ත්‍රිවරුන් සහ ආසන සංවිධායකවරු කිහිප දෙනෙකු ආණ්ඩු පක්ෂයට එක්වීමට සූදානමින් පවතින බවයි.