මහනුවර ගන්නොරුව ප්‍රදේශයේ මංගල උත්සවයකට පාසල් දරුවන් 250 දෙනෙකු සහභාගී කරවා ගනිමින් ඔවුන් හිංසනයට ලක් කළ බවට ලැබුණු පැමිණිලක් මත ඒ පිළිබඳ ආරම්භ කළ විමර්ශන පුළුල් කර ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මූලිකවම මෙම ක්‍රියාදාමය හරහා මෙරට අපරාධ නීතිය කඩවීමකට ලක්වී ඇත් දැයි සොයා බැලීමට විශේෂ අවධානය යොමු කර තිබේ. ඒ සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් මහතා යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කොට ඇත.
මේ අනුව,
අදාළ අවස්ථාවට සහභාගී වූ මුළු සිසුන් ගණන හා ඔවුන්ගේ තොරතුරු,අදාළ අවස්ථාවට පන්ති භාර ගුරුවරු සහභාගී වී තිබේද? එසේ නම් ඔවුන්ගේ තොරතුරු.
පන්ති භාර ගුරුවරුන් සඳහා අදාළ අවස්ථාවට දරුවන් සහභාගී කරවන ලෙස නියෝග කරන ලද්දේ කවුරුන් විසින්ද යන්න දැක්වෙන පැහැදිලි ප්‍රකාශ සටහන්.
අදාළ අවස්ථාවට සහභාගී වූ දරුවන්ගේ දෙමව්පියන්ට අදාළ තොරතුරු.
අදාළ උත්සවය පැවති කාලය, පටන් ගත් වේලාව, අවසන් වූ වේලාව සහ දරුවන් නැවත පාසලට පැමිණි වේලාව.
අදාළ අවස්ථාවේ දරුවන්ට ආහාරපාන ලබා දුන්නේද? දුන්නේ නම් ඒ මොනවාද?
අදාළ විදුහල්පතිවරයාගේ ප්‍රකාශ සටහන් කර ගැනීම.
අදාළ උත්සවය සම්බන්ධව පාසල් දරුවන් සහභාගී කරවීමට නියෝග කළේ ද යන්නට අදාළ පළාත් අධ්‍යාපන ලේකම්වරයාගේ සහ පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයාගේ ප්‍රකාශ සටහන් කර ගැනීම.
මෙම අවස්ථාවේදී යම් අසනීප තත්ත්වයට ගොදුරු වූ දරුවන් සිටී ද? එසේ නම් ඔවුන් අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීම හා ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීම.
මෙම අවස්ථාවේ දරුවන්ගේ තාවකාලික භාරකාරත්වය දරන ලද්දේ කවුරුන් විසින්ද?
මෙම උත්සව අවස්ථාවට පොලිස් ආරක්ෂාව ලබාදී තිබුණේද?
දරුවන්ට කොපමණ දුරක් පයින් ඇවිද යාමට සිදු වුණිද? මෙම අවස්ථාවට ගිලන් රථ යොදාගෙන තිබුණේද?
පිළිබඳව පරීක්ෂණ පවත්වන බව එම නිවේදනයෙහි වැඩිදුරටත් දැක්වෙයි.