භික්ෂූන් වහන්සේලාටද තර්ජනය කරමින් පහරදීමට පවා උත්සාහ කරන දේශපාලකයන් සමග යහපාලනයක් ගොඩනැගිය නොහැකි බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
රට වෙනුවෙන් සේවය කිරීමට බලය දුන් දේශපාලකයන්ට භික්ෂූන් වෙත පහරදීමට කාගෙන් බලය ලැබුණේදැයි ජනතාවගේ විමසීම වී ඇති බවද ඔහු කියා සිටියේය.
මෙවැනි දේශපාලකයන් නිල්ද, කොළද යන කාරණය වැදගත් නොවන බවත්, වැරැද්දට දඬුවම් ලබාදීම එක්සත් ජාතික පක්ෂය ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
කෙසේ වෙතත් ඌව මහ ඇමතිවරයාගේ හැසිරීම සමස්ත දේශපාලන ධාරාවටම සුදුසු නොවන බවත්, ඒ පිළිබඳ ජනාධිපතිවරයා ගන්නා වූ ක්‍රියාමාර්ගය කුමක්දැයි රටම බලා සිටින බවත් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් නවගත්තේගමදී ඊයේ (05) පැවැති ජනහමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා,
“විදුහල්පතිනියක බහත්කාරයෙන් දණගස්වා ඇගෙන් වැඳුම් පිදුම් ලැබූ කතා පුවතකට අපි පසුගිය දිනවල සවන් දුන්නා. දේශපාලකයන් බලහත්කාරයෙන් පූජනීය වීමට උත්සාහ කරන තත්ත්වයක් අද නිරීක්ෂණය වෙමින් තිබෙනවා. අතීත රජ දරුවන් මෙන්ම මෑත කාලයේ බොහෝ දේශපාලන නායකයන් අදත් පූජනීයයි. ඔවුන් පූජනීය වුණේ රට වෙනුවෙන්, අනාගතය වෙනුවෙන් කළ සේවාව නිසයි. එහෙත් වර්තමානයේ මිනිසුන්ට තර්ජනය කරමින් වැඳුම් පිදුම් ලබාගන්නා පහත් පෙළේ ආශාවන් සහිත දේශපාලකයන් ඉහළ තලවලට පත් කිරීම හේතුවෙන් දේශපාලඥයාගේ ගෞරවය කෙළෙසිලා.
යහපාලනය නම් යහපාලනයම විය යුතුයි. දැන් ඌවේ මහ ඇමතිවරයා කාගේ බලයටද මේ නටන්නේ. ඔහු විදුහල්පතිනියක දණගැස්සුවා. ඒත් අදටත් මහ ඇමති. පසුගියදා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමකට පහර දෙන්න ගියා. රූපවාහිනියෙන් ඒ දසුන මුළු රටම සියැසින්ම දැක ගත්තා. ඒත් ඔහු මහ ඇමති. ආණමඩුවෙත් එහෙම සිද්ධියක් සිදු වුණා. නවගත්තේගම ගුරුවරියක දණගැස්සුවා. එතකොට පළාත් සභා මන්ත්‍රී. මිනිස්සු මේ සිද්ධිය පිළිකුල් කරමින් ඔහු ප්‍රතික්ෂේප කළා. මොකද වුණෞ. ඔහු අද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ආණමඩුව සංවිධායක. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාගෙන්, එහෙමත් නැත්නම් ජනාධිපතිවරයාගෙන් අහන්නේ ඇයි මෙහෙම දේ කරන්නේ කියලයි. ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය දෙදම රටම බලා සිටිනවා. යහපාලනය, නීතිගරුක, විනයගරුක මේ වගේ වචන කියවීමෙන් විතරක් පලක් වෙන්නේ නෑ. අපි ක්‍රියාවෙනුත් එය ඔප්පු කළ යුතුයි.
මේ වගේ පුද්ගලයන්ට නීතියෙන්ම දඬුවම් හිමි විය යුතුද? ඇයි බැරි අදාළ පුද්ගලයන් දේශපාලනයෙන් පන්නලා දාන්න. ඒ තැන හොඳ පුද්ගලයෙකුට දෙන්න බැරි ඇයි? එක්සත් ජාතික පක්ෂයට පැලෙන්න මඩ ගහනවා. විවිධ අවලාද නගනවා. මේ වසර තුනක කාලය තුළ යමක් කළානම් කළේ එක්සත් ජාතික පක්ෂය විතරයි. ඒ කළෙත් ආණ්ඩුවෙන් බාගෙක බලයක් තියාගෙන. එහෙම කරලත් එක්සත් ජාතික පක්ෂයටම මඩ ගහනවා. පිට බලනවා. ඇතුළ පේන්නේ නෑ. මේ දේශපාලන අඳුර අපි 2020 දී වෙනස් කරනවා. ඒ ගමනට අපි දිවිහිමියෙන් කැපවෙනවා. අපි අපේම ජනාධිපතිවරයෙක් යටතේ 2020දී අපේම ආණ්ඩුවක් හදනවා* යනුවෙන් කියා සිටියේය.