භාෂා තුනෙන්ම අදාළ අංශ හා මහජනතාව වෙත ලිපි යැවීම අනිවාර්ය බවත් තවමත් එය ක්‍රියාත්මක නොමැති බැවින් ඉදිරි තෙමස තුළ එය නිවැරදි කිරීමට රාජ්‍ය නිළධාරීන් කටයුතු කළ යුතු බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ 07, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී පැවති මේ වසරේ දෙවැනි දිස්ත්‍රික් ලේකම් සමුළුවේ සමාරම්භක සැසියට එක් වෙමිනි.
ක්ෂේත්රයේ පවතින ගැටලු නිරාකරණය කර ගැනීම, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආශ්රිත ගැටලු, අනෙකුත් අමාත්‍යාංශ අතර සම්බන්ධීකරණ කටයුතු, රජයේ මුදල් වැය කිරීම යන අරමුණු සඳහා ප්‍රමුඛත්වය ලබාදෙමින් මෙම සමුළුව පැවැත්විණ. සමුළුවේ දෙවන දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී දිස්ත්‍රික් ලේකම්වරුන් හා සාකච්ඡා කිරීම මෙම සමුළුවේ විශේෂත්වයකි.මේ සඳහා යාපනය, මුලතිව්, කිළිනොච්චි යන දිස්ත්‍රික්ක ඇතුළුව දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන අයුරින් දිස්ත්‍රික් ලේකම්වරු සහභාගී වූහ.
මෙහිදී ප්‍රාදේශීය පරිපාලනයේදී දිස්ත්‍රික් ලේකම්වරු මුහුණපාන ගැටලු, සංවර්ධන කටයුතු සඳහා රජයේ මුදල් වැය කිරීම, ජනතාවට වඩා කාර්යක්ෂම සේවාවක් සැපයීමේ වැදගත්කම, වකුගඩු නිවාරණ ජාතික සැලසුමේ ප්‍රගතිය, මදුරු මර්දන සතිය, දේශපාලන පළිගැනීම් ඇතුළු ජනතාවට බලපාන ගැටලු රැසක් පිළිබඳව දීර්ඝ ලෙස අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සහ දිස්ත්‍රික් ලේකම්වරු සාකච්ඡා කළහ.