පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බෞද්ධ විහාර හා දේවාලගම් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පිවිතුරු හෙළ උරුමය පෙරේදා (10) ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකළේය.
එහිදී පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිල මහතා පැවසුවේ, ආණ්ඩුව විසින් බෞද්ධ විහාර හා දේවාලගම් පනතට ඉදිරිපත් කරන ලද සංශෝධනය සඳහා තම පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කළ බවයි.
මෙම සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වැනි, 10 වැනි, 12 වැනි සහ 14 වැනි වගන්ති උල්ලංඝනය කර ඇති බවත්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකට අමතරව ජනමත විචාරණයක්ද ඒ වෙනුවෙන් අවශ්‍ය බවත් මන්ත්‍රීවරයා පවසා සිටියේය.
බෞද්ධ විහාර හා දේවාලගම් පනත ඉංග්‍රීසීන් විසින් භික්ෂූන් වහන්සේලා රජයේ දැඩි අඬුවට ගෙන පාලනය කිරීම සඳහා ගෙන ආ එකක් බවත්, ආණ්ඩුව සිටින්නේ භික්ෂූන් වහන්සේලා විහාර දේවාලගම් රජයේ දැඩි පාලනයට යටත්කළ යුතුයි යන ස්ථාවරයේ බවත්, එය කනගාටුවට කරුණක් බවත් හෙතෙම කීය.
කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත මෙන්ම මෙම පනත් කෙටුම්පතද ශ්‍රී ලංකාව තුළ මහායාන ආගම ප්‍රචාරය කිරීමේ කූඨ අරමුණින් ගෙන ආ එකක් බවත්, නීතිපතිවරයා මෙහි යම් යම් වගන්ති ඉවත්කර ගැනීමට එකඟ වූ බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේය.