ජාත්‍යන්තර වෙළෙඳ පොළ තුළ බොර තෙල් මිල විශාල ලෙස පහත ගොස් ඇති බැවින්, එම ලාභය ජනතාවට වහාම ලබාදිය යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
අයවැය තෙවැනි වර කියවීමේ කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් පෙරෙයිදා(13දා)දිසානායක මහතා මේ බව කීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“බොරතෙල් මිල ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයෙන් අඩු වෙලා තියෙනවා. ඩොලර් 102 ක පැවැති බොරතෙල් බැරලය ඩොලර් 46 දක්වා අඩුවෙලා. ඒත් ජනතාවට මේ සහනය දීලා නැහැ. තෙල් මිල වැඩීවීම පිළිබඳ අසීමිත බරක් ජනතාවට පටවලා තියෙනවා. තෙල් සංස්ථාව කළු කඩයක් වෙන්න එපා. වහාම මේ වාසිය ජනතාවට ලබා දෙන්න* යනුවෙන් කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවසුවේ මෙරටට බොරතෙල් ලබාගන්නේ ණය පදනම මත බවයි.
'ණයට ගන්න තෙල්වලට මාසයක් ඇතුළත ගෙව්වොත් පොලිය නැහැ. නමුත් පසුගිය කාලයේ ගෙවීම් කරන්න මාස ගණනක් ගතවෙලා ඩොලර් ගණනක් පොලී ගෙවන්න වුණා. ඉදිරියේදී මාසයක් තුළ ණය ගෙවන්න අපි කටයුතු කරනවා' යනුවෙන්ද ඔහු සඳහන් කළේය.