බුදුන්ට නිගා වන අයුරින් බුද්ධ රූපය විවිධ ප්රකාශන සඳහා යොදාගැනීම වළක්වාලන්නැයි ඉල්ලමින් අනුරාධපුර නව නගර බස් නැවතුම්පොලේ ඉදිකර තිබෙන අඩි 45 ක් පමණ උස විශාල දැන්වීම් පුවරුවක් මත නැගී තරුණයෙක් ඊයේ ( 14දා) උපවාසයක් ආරම්භකළේය. ඔහු දෙවැනි දිනයට අදත් (15දා) උපවාසයේ නිරතවන සිටියි.
බස් නැවතුමේ පිහිටි විශාල දැන්වීම් පුවරුවේ බටයක් ආධාරයෙන් ඔහු උපවාසයේ නිරත වන අතර ඒ අසළ ජාතික ධජය, බෞද්ධ ධජය සහ ලබාගත් අත්සන් සහිත ලේඛන එල්ලා තිබේ. පුවරුවට පහළින් ‘බුදු දහම පැතිරී සදාකල් ලොව වැජඹේවා’ යන දැන්වීම් පුවරුවක්ද සවිකර තිබේ.
මෙලෙස උපවාසයේ යෙදී සිටින්නේ ජී 13, වාරියගල, නිල්ලබ ප්රදේශයේ පදිංචි යූ.ජී. සුගත් (28)හැවිරිදි අවිවාහක තරුණයෙකි. ඔහු මීට පෙර අවස්ථා දෙකකදී මහනුවර වැව රවුමේ ගසක් මත නැගී සහ පේරාදෙණිය පාලමේ කණුවක් මත නැගී ද මෙලෙස උපවාසයක නිරතවී තිබේ.
“බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රූප සහ දේව රූප තැනින් තැන විසිකරලා දාලා තියෙනවානේ. ඒවා පයට පෑගෙනවා. පත්තරයක බුදුරූපයක් තිබ්බත් ඒකෙන් අත පිහදානවා, කට පිහදානවා, මස් ඔතනවා. ඒ නිසා මං ඒකට අදාළ බලධාරීන් දැනුවත් කළා, මේ දේ නවත්වන්න කියලා. ලංකාවේ ජනතාවගෙන් අහලා බැලුවා, ලක්ෂ 76ක් විතර ජනතාව මගේ තීරණයට එකඟතාවය සහ කැමැත්ත පළකළා. හිටපු ජනාධිපතිතුමාට මේ ගැන පියවරක් ගන්න කියලා ලක්ෂ 16 ක් අත්සන් සහිත ලිපි භාර දුන්නා. එත් කිසිම ක්රියාමාර්ගයක් ගත්තේ නැහැ.
ශ්රී ලංකාවේ සියලුම නායක ස්වාමීන්වහන්සේලාට මම ඒ සම්බන්ධව ලිපි ලේඛන භාරදීලා තියෙනවා මේක ජනාධිපතිතුමාට භාර දීලා නතර කරන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් ජනාධිපතිතුමාගේ කැමැත්ත තමයි තියෙන්න ඕනේ. ජනාධිපතිතුමාට මම කියන්නේ ඒක කරන්න පුළුවන්ද? බැරිද? කියලා හෙළි කරන්න කියලා. මට පිළිතුරක් ලැබෙනකන් බහින්නේ නැහැ. පොලීසිය ඇවිත් මාව මෙතනින් බස්සලා අත්අඩංගුවට ගන්න හැදුවොත් බෞද්ධයෙක් හැටියට මම තීරණයක් ගන්නවා” යැයි ඔහු පැවසීය.