හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් තිබූ නඩුවක විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් සාක්ෂිදීමට පැමිණි සාක්ෂිකරුවෙකු බීමත්ව සිටීම හේතුවෙන් ඔහුට රුපියල් දහසක දඩයක් හා මාසයක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් හැටන් දිසාවිනිසුරු හා මහේස්ත්‍රාත් ප්‍රසාද් ලියනගේ මහතා විසින් පසුගිය (25දා) නියම කරන ලදී. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ එම සාක්ෂිකරුට මෙසේ දඬුවම් නියම කර ඇත.
කොටගල පදිංචි එස්. ජේරාමි (47) තිදරු පියෙකුට මෙම සිර දඬුවම නියම විය. අදාළ දඩය නොගෙවන්නේ නම් තවත් සති තුනක සිර දඬුවමක්ද විනිසුරුවරයා විසින් නියම කරන ලදී. අදාළ සාක්ෂිකරු සාක්ෂි කූඩුවට කැඳවන අවස්ථාවේ ඔහු බීමත්ව සිටින බවට මහේස්ත්රාත්වරයාට සැකසිතී ඔහු වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් හැටන් පොලීසියට නියෝග කරන ලදී.
වෛද්‍ය වාර්තාවෙන් සැකකරු බීමත්ව සිට ඇති බවට ඔප්පුවීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ නියෝගය නිකුත් කරන ලදී. මෙවැනි සාක්ෂිකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී වගකීමෙන් කටයුතු කරන්නැයිද මහේස්ත්‍රාත්වරයා නීතිඥවරන්ට අවවාද කළේය.