බ්ලූමැන්ඩල් ප්‍ර‘දේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, ඔවුන්ගෙන් ලබාගත් තොරතුරු මත අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සැලසුම් කර තිබෙන බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ඝාතනයට යොදාගත් බවට සැකකෙරෙන කාර් රථය කුලියට වාහන ලබාදෙන ස්ථානයකින් රුචික ගයාන් ජයවර්ධන නමැත්තා ලබාගෙන තිබෙන බවත්, ඔහු කොළඹ මහනගර සභාවේ රියදුරෙකු ලෙස සේවය කරන පුද්ගලයෙකු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
එම පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, එම පුද්ගලයාගෙන් ජූලි 23 වැනිදා ත්‍රීවීල් ධනුෂ්ක නමැත්තෙකු සහ තවත් පුද්ගලයෙකු පැමිණ කාර් රථය මාසයක කාලයකට කුලියට ලබාගෙන තිබෙන බවත්, ඒ සඳහා රුපියල් 95,000 ක් ගෙවා තිබෙන බවට හෙළි වී තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
ත්‍රීවීල් ධනුෂ්ක නැමැත්තාද මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, අනෙක් පුද්ගලයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මාසික කුලියට ලබාගත් කාර් රථය පසුගිය ජූලි මස 31 වැනිදා රුචික නමැත්තාට නැවත භාරදී තිබෙන බවද, ඉන් පසුව රුචික නමැත්තා විසින් අගෝස්තු 01 වැනිදා දෙමටගොඩ පදිංචි උදය කුමාර සහ වැල්ලම්පිටියේ පදිංචි දමිත් ප්‍රියන්ත යන දෙදෙනාට කුලී පදනමින් එම රථය ලබාදී තිබෙන බවත්, ඔවුන් දෙදෙනාද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
මේ දෙදෙනා දේශපාලඥයන්ගේ ආධාරකරුවන් දෙදෙනෙකු බවට හෙළි වී තිබෙන බවත්, මෙම කාර් රථය අත්අඩංගුවට ගනු ලැබුවේ දමිත් ප්‍රියන්ත නමැත්තාගේ නිවසේ තිබී බවද, එම නිවසේ මැතිවරණ කාර්යාලයක් පවතින බවත් රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
පසුගිය 07 වැනිදා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට පිහිටි ප්‍රධාන මාර්ගයේදී විදානගමගේ අමිල නමැති පුද්ගලයා අත්අඩංගුවට ගත් බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
මීට අමතරව කාර් රථය අයිති ගුරුවරියගෙන් ප්‍රකාශ ලබාගෙන තිබෙන බවද ඔහු පවසා සිටියේය.
සිද්ධිය සිදුවූ දින සිදුකළ සෝදිසි මෙහෙයුමේදී බ්ලූමැන්ඩල් නිවාස සංකීර්ණයේ ගාල් කර තිබියදී මෙම වෙඩි තැබීමට සම්බන්ධ බවට කාර් රථයක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, එම කාර් රථය කුලී පදනමින් ලබාගත් පුද්ගලයා සිද්ධිය සිදුවූ දින රටින් පිටව ගොස් තිබෙන බවට වාර්තා වන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේදී ආමි සම්පත් නමැත්තා සහ සංඛ නමැත්තා අදාළ ප්‍ර‘දේශයේ සිටි බවට යම් යම් ප්‍රකාශවලින් තහවුරු වී තිබෙන බවත්, මෙම වෙඩි තැබීම සඳහා ටී-56 වර්ගයේ ගිනි අවියක් සහ පිස්තෝලයක් වැනි කුඩා ගිනිඅවියක් යොදාගෙන තිබෙන බවට හෙළි වී තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
එහෙත් එම ගිනිඅවි කිසිවක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත්, ආමි සම්පත් නමැත්තා පසුගිය මැයි මාසයේදී ව්‍යාජ ගමන් බලපත්‍රයකින් මෙරටට පැමිණි බවට හෙළි වී තිබෙන බවත්, ඔහුට විදේශගත වීමට නොහැකි ආකාරයට ආගමන විගමන පාලක හරහා කටයුතු කර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.
අවශ්‍ය වුවහොත් ඉදිරියේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාගෙන් ප්‍රකාශ ලබාගන්නා බවත්, ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගෙන ආමි සම්පත් නමැත්තා මෙරටට පැමිණීමත් වරදක් බවත්, ඒ පිළිබඳවද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවද රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
එච්.අයි. තුෂාර/ චාමර සම්පත්