ජාතික බිම්බෝම්බ ක්‍රියාකාරී කමිටුවට සහ අනෙකුත් දේශීය සහ විදේශීය හවුල්කරුවන්ට ඇමෙරිකාව විසින් ලබාදෙන සහායට අමතර ඇ.ඩො.මිලියන 1.745 (රු.මිලියන 245ක්) පිරිනමන බව ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප් මහතා පවසා සිටියේය.
ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප් මහතා මෙසේ පවසා සිටියේ, ඊයේ (08දා) පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා හමුවූ අවස්ථාවේදී බව එම තානාපති කාර්යාලය පවසයි.
1993 වසරේ සිට ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත්කිරීමේ වැඩසටහන්වලට ඇමෙරිකාව විසින් ඇ.ඩො. මිලියන 43ක් (රු.බිලියන 6කට අධික මුදලක්) ලබාදී ඇති බවද තානාපති කාර්යාලය පවසයි.
2020 වසර වනවිට ශ්‍රී ලංකාව බිම්බෝම්බ රහිත රටක් කිරීමට අමාත්‍යවරයා කර ඇති පොරොන්දුවට සහාය පළ කරන බවත්, ලොවපුරා බිම්බෝම්බ ඉවත්කිරීමේ වැඩසටහන්වලට විශාලතම දායකත්වයක් ලබාදෙන ඇමෙරිකාව ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ප්රශ්නය මැඬලීමට කැපවී කටයුතු කරන බවත් තානාපති අතුල් කෙෂප් මහතා වැඩිදුරටත් පවසා සිටියේය.