මාස තුනක කාලයක් පාර්ලිමේන්තුවට නොපැමිණීම සඳහා වන නිවාඩු යෝජනාවක් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් අද (18දා) පාර්ලිමේන්තුවේදී සම්මත කළේය.
විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා අදාළ නිවාඩු යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර එය ඊට පසුව සම්මත කරන ලදී. කෙසේ නමුදු ජ.වි.පෙ නායක අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ මාස තුනකට පාර්ලිමේන්තුවට නොපැමිණීමට අවසර ඉල්ලන්නේ නම් ඊට අදාළ හේතු ද දැක්විය යුතු බවයි.
මීට ප්‍රතිචාර දැක්වූ කථානායක චමල් රාජපක්ෂ මහතා කියා සිටියේ එය ඉතා හොඳ අදහසක් බවත්, පාර්ලිමේන්තුව ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු බවත්ය.
ඊට ප්‍රතිචාර දැක්වූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙවැනි නිවාඩු යෝජනාවක් ගෙන එන ලෙස බැසිල් රාජපක්ෂ මහතා තමාගෙන් ඉල්ලීමක් කළ බවත්, ඒ පිළිබඳව අවසාන තීන්දුව ගැනීම පාර්ලිමේන්තුව සතු බවත්ය.