බැඳුම්කර සිදුවීම මූලික කරගනිමින් එක්සත් ජාතික පක්ෂයට චෝදනා කිරීම සඳහා බංකොළොත් වුණු දේශපාලන අනාථයන් කටයුතු කරන බව අධිකරණ හා විදේශ රැකියා ඇමතිනී නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.
අමාත්‍යවරිය මේ අදහස් පළකළේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් බලංගොඩ, ඉඹුල්පේ ප්‍රදේශයේ ඊයේ (30දා) පැවැති ජනහමුවක් අමතමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය,
“බැඳුම්කර සිද්ධිය මුල්කරගෙන එක්සත් ජාතික පක්ෂයට චෝදනා නගන්න බංකොළොත්වුණ දේශපාලන අනාථයන් කටයුතු කරනවා. මේ චෝදනාවට ලක්වුණු අපේ අමාත්‍යවරයෙක් අමාත්‍ය ධුරයෙන් පවා ඉල්ලා අස්වුණා. පක්ෂයක් විදිහට අපි තීරණය කරලා තියෙනවා ඔහුගේ නිර්දෝෂී බව ඔප්පු වනතුරු පක්ෂයේ තනතුරුවලිනුත් ඉවත් වෙලා ඉන්න. ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි බලය තියෙනකොට රටේ අගමැතිවරයෙක් කොමිෂන් සභාවක් ඉදිරියේ සාක්ෂි ලබාදුන්නේ. අපි නිවැරදි පක්ෂයක්. මීට පෙරත් චෝදනා එල්ල වුණු අවස්ථාවක තිලක් මාරපන මහතා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුණා. රවි කරුණානායක මහතා ඉවත් වුණා. මේවා හොඳ දේශපාලන ආදර්ශ. රටට ආදර්ශයක් වෙන විදිහට අපි කටයුතු කරලා තියෙනවා. හොරා ඒ පැත්තේ ඉඳන් හොරකම් කළත් එකයි. මේ පැත්තේ ඉඳන් හොරකම් කළත් එකයි. අපි මේ රටේ ජනතාවට පොරොන්දු වුණා හොරු අල්ලලා දඬුවම් දීලා රටේ දේපළ අනිසි විදිහට භාවිත කරපු අයට අනිවාර්යයෙන්ම දඬුවම් ලබාදෙනවා. බැඳුම්කර සිද්ධියට එජාපයට චෝදනා කරන එක බංකොළොත් වුණු දේශපාලන අනාථයන්ගෙ වැඩක්.
ඒ නිසා පෙබරවාරි 10න් පස්සේ කවුරුහරි හිතනවා නම් මේ රටේ බලය වෙනස් වෙනවා කියලා ඒක හීනයක්. මේ සම්මුතිවාදී ආණ්ඩුව 2020 වෙනකම් ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් කරගෙන යනවා. 2020න් පස්සේ බලමු අපි මොකද වෙන්නේ කියලා. එතෙක් කවුරුත් කලබල නොවී කඩාවැටුණු සංවර්ධනය නගා සිටුවන්න සහාය දෙන්න.”