මතභේදයට තුඩු දී ඇති බැඳුම්කර නිකුතුව සිදු වන අවස්ථාවේ එවකට මහබැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි අර්ජුන් මහේන්ද්‍රන් මහතා බැඳුම්කර නිකුතුව සිදු වූ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ කාර්යාලයට පැමිණියේ ඇති බව ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන ජනපති කොමිසම හමුවේ අද (02දා) හෙළිදරව් විණ.
මීට පෙර සිටි කිසිම මහබැංකු අධිපතිවරයෙකු කිසිම දිනෙක බැඳුම්කර නිකුතුවක් සිදු වන අවස්ථාවේදී එම කාර්යාලයට පැමිණ නැතැයිද බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යා දත්ත දෙපාර්තමේන්තුවේ අතිරේක අධිකාරී ආචාර්ය මොහොමඩ් ෂෙයික් මොහොමඩ් ආර්ෂින් මහතා පැවසීය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස දීර්ඝ කාලයක් සේවය කළ නානායක්කාර මහතා මෙම බැඳුම්කර වෙන්දේසිය සිදුවීමට ආසන්න කාලයේදී එම තනතුරින් ඉවත් කොට, ඒ වෙනුවට සෙනෙවිරත්න මහත්මිය පත් කළ බවද මොහොමඩ් ආර්ෂින් මහතා පැවැසීය. එසේම බැඳුම්කර වෙන්දේසිය සිදුවන අවස්ථාවේදී අර්ජුන් මහේන්ද්‍රන් මහතා සෙනෙවිරත්න මහත්මියගේ නිල කාමරයට පැමිණ බැඳුම්කර වෙන්දේසියට අදාළ තොරතුරු විමසා සිටියේ යැයිද වැඩිදුරටත් පැවසීය.