විදේශිකයන් ඇතුළුව අහිංසක ජනතාවගේ ජීවිත වානශ කරමින් පසුගිය සඳුදා බැංකොක් නුවර එරවන් සිද්ධස්ථානය අසලදී සිදුවූ බෝම්බ ප්රහාරය පිළිබඳ ජනපති මෛත්රීපාල සිරිසේන මහතා සිය බලවත් ශෝකය පළ කර ඇත.
තායිලන්ත රාජධානියේ බුමිබොල් අදුල්යාදෙව් රජු වෙත විශේෂ පණිවුඩයක් යොමු කරමින් ජනාධිපතිවරයා මෙලෙස සිය කණගාටුව ප්රකාශ කර ඇත.
එම ඛේදජනක සිදුවීම පිළිබඳව ශ්රී ලංකා රජයත්, ජනතාවත් වෙනුවෙන් තායිලන්ත රජයට සහ ජනතාවට සිය හෘදයාංගම කණගාටුව පළ කරන බවත්, ප්රහාරයෙන් මියගිය අයගේ පවුල්වල ඥාතීන් වෙත සිය සංවේගය පළ කරන අතරම, තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්රාර්ථනා කරන බවද ජනාධිපතිවරයා සිය පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම පහත් ක්රියාව ශ්රී ලංකා රජය හා ජනතාව දැඩිව හෙළා දකින අතර, උද්ගතව ඇති අසීරු අවස්ථාවේදී තායිලන්ත වැසියන් සහ තායිලන්ත රජය වෙනුවෙන් ලබාදිය හැකි සෑම සහායක්ම ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා තායිලන්ත රජතුමා ඇතුළු රජය වෙත දන්වා සිටී.
එමෙන්ම, මෙම ත්රස්ත ක්රියාවේ වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමට තායිලන්ත රජය සියලු පියවර ගනු ඇතැයි අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සිය පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.