තත්ත්වය හොඳ නම් හා හොඳ අවස්ථා පවතින බව තමන්ට හැඟීයන්නේ නම්, ශ්‍රී ලංකාව ගැන තමන්ට ඇල්මක් ඇති බව ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන වර්ජින් සමාගමේ නිර්මාතෘ සර් රිචඩ් බ්‍රැන්සන් පවසයි.
මෙවර එල්එම්ඩී සඟරාව වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක් ලබාදෙමින් මෙම ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා මෙම අදහස් දක්වා තිබේ.
"මට දැනෙන විදියට, අපට බොහෝ රටවලදී හමු නොවෙන බොහොම උණුසුම්, සාදරයෙන් පිළිගන්නා මිනිසුන් ශ්‍රී ලංකාවේ සිටිනවා. ශ්‍රී ලාංකිකයන් යනු බොහොම කාරුණික, බොහෝ සුන්දර ලක්ෂණයන්ගෙන් පිරි ජාතියක්. ශ්‍රී ලංකාව ඇත්තටම කදිම තැනක්."
හෙතෙම අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත්, ශ්‍රී ලංකාවේ ජින්ජර් බියර් රසය තමන්ට අමතක නොකළ හැකි බවත් හෙතෙම පවසා තිබේ. "ශ්‍රී ලංකාවේදී මා රස විඳි ජින්ජර් බියර් රසය අමතක කරන්න බැහැ. මා ඊට ගොඩක් ඇලුම් කරනවා. ඒ ගැන මම ශ්‍රී ලංකාවට ණය ගැතියි."
තමන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සූදානමින් සිටින්නේද යනුවෙන් බ්රැන්සන්ගෙන් ප්‍රශ්න කරන විට ඔහු පවසා ඇත්තේ, "යුද්ධය අවසන් වීම සැමට සුවිශේෂී අවස්ථාවක්. එහි ඵල මේ වනවිට රටම බුක්ති විඳිනවා." යනුවෙනි. නමුත්, තවත් දුරක් යෑමට ඇති බවද බ්‍රැන්සන් අවධාරණය කරයි. එහිදී, ඔහු වෙත ලබාදෙන අවස්ථාවන් ගැන ඔහු උනන්දුවකින් පසුවන බවත්, ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සම්බන්ධ පැනය බ්‍රැන්සන් ඉවත් නොදැමූ බවත් සඟරාව වැඩිදුරටත් පවසයි.