2016 වසර තුළදී බ්‍රහස්පති ග්‍රහලෝකය පෘථිවියට වඩාත්ම සමීප වන දිනය අදට (08දා) යෙදී ඇති බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පවසයි. සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝක 08 අතරින් විශාලතම ග්‍රහලෝකය වන බ්‍රහස්පති වසරේ අන් කවරදාටත් වඩා දීප්තිමත්ව මුළු රාත්‍රිය පුරාම දැකබලා ගැනීමට අද ඔබට අවස්ථාව උදාවනු ඇත. මේ දිනවල හිරු සහ බ්‍රහස්පති, පෘථිවිය දෙපසින් එකිනෙකට විරුද්ධ දිශාවල පිහිටන බැවින් බ්‍රහස්පති ග්‍රහලෝකය ඉතාමත් හොඳින් ආලෝකමත්ව දිස්වේ. ඒ අනුව, මේ වනවිට බ්‍රහස්පතිට පොළවේ සිට ඇති දුර කි.මී.මිලියන 664 ක් පමණ වේ.
අද සවස හිරු බැසයාමත් සමගම නැගෙනහිර දෙසින් උදාවන බ්‍රහස්පති හෙට දින හිරු උදාවන තෙක්ම රාත්‍රී අහසේ දැකිය හැකිය. එය දීප්තිමත් කහ පාටකින් යුතුව සහ තරුවලට වඩා තරමක් විශාලව දිස්වේ. තාරකා දිදුලන (නිවි නිවී දැල්වෙන) ස්වභාවයක් පෙන්වන නමුත් ග්‍රහලෝකයක් වන බ්‍රහස්පති එසේ දිදුලන්නේ නැත. අද සවස 6.30 ට පමණ නැගෙනහිර අහසින් පායන බ්‍රහස්පති මධ්‍යම රාත්‍රිය පමණ වනවිට හිස් මුදුනට පැමිණ නැවත හෙට අලුයම 6.00 ට පමණ බටහිරින් අහසින් බැස යයි.
මේ දිනවල බ්‍රහස්පති ග්‍රහලෝකය තිබෙන්නේ සිංහ තාරකා රාශිය සමීපයෙනි. අද සවස 6.00 ට පමණ සිංහ රාශිය නැගෙනහිර දිශාවෙන් උදාවෙයි. අනෙක් පැත්තට පිහිටි ප්‍රශ්ණාර්ථ ලකුණක් ආකාරයට පිහිටි දීප්තිමත් තාරකා 06 ක් ඔබට සොයාගත හැකි නම් ඒ සිංහයාගේ හිසයි.
බ්‍රහස්පති සහ බ්‍රහස්පතිගේ චන්ද්‍රයින් නැරඹීමට සහ ඡායාරූප ගතකිරීමට මෙය ඉතා කදිම අවස්ථාවක් බවද ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පවසයි. ඔබට දෙනෙතියක් (binocular) තුළින් හෝ දුරේක්ෂයක් (telescope) තුළින් නිරීක්ෂණය කිරීමෙන් බ්‍රහස්පතිගේ විශාලතම චන්ද්‍රයින් හතර දෙනා දීප්තිමත් තිත් ආකාරයට බ්‍රහස්පති දෙපසින් දැකගත හැකිය. දුරේක්ෂයකින් නිරීක්ෂණය කළ විට බ්‍රහස්පති මත ඇති වායු පටිද ඔබට දැකගත හැකිය.