බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හමුවේ යුරෝපීය ආරක්ෂක ඒජන්සි සිය ආරක්ෂක බුද්ධි තොරතුරු හුවමාරුව වඩාත් විධිමත් කරගත යුතු බවට අදහසක් මතුව තිබේ.
විශේෂයෙන්ම මෙම රාජ්‍යයන් තම තමන්ගේ අතිශය සංවේදී බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීමේදී යම් යම් සීමාවන් පනවාගෙන සිටීම තුළ පසුගියදා ප්‍රහාරය සිදුවූ බවටද චෝදනාවක් නැගෙයි.
පුද්ගලයන් 34 දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ බ්‍රසල්ස් ප්‍රහාරයේ වගකීමද අයි.එස්. ඉස්ලාමීය අන්තවාදීන් භාරගත් අතර, පසුගිය නොවැම්බර් මාසයේ පැරීසියේදී පුද්ගලයන් 130 දෙනෙකුට මරු කැඳවූ ප්‍රහාරයද එකම ත්‍රස්ත ජාලයේ ප්‍රහාරයක් බවට මේ වනවිට තහවුරු වී තිබේ.
ඒ අනුව, ප්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයන් තිදෙනෙකු එරට අධිකරණය විසින් හඳුනාගෙන ඇති අතර, ගුවන්තොටු පොළ සී.සී.ටී.වී. කැමරාවට හසුවූ පුද්ගලයන් තිදෙනොගෙන් තොප්පියක් පැළඳ පැමිණි ඔහු ෆෙයිකල් චෙෆොවු ලෙස අධිකරණය විසින් නම් කර තිබේ. කෙසේ වෙතත්, ගුවන් තොටුපොළ වෙත බෝම්බය රැගෙන පැමිණි මොහු පසුව ඉන් පළාගොස් ඇති බව මේ වනවිට අධිකරණය තහවුරු කරගෙන තිබූ අතර, ඔහු මේ වනවිට අත්අඩංගුවට පත්ව ඇති බව කියයි.
ඔහු බ්‍රසීලයේ නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කර ඇති බවත්, සරණාගත කඳවුරු තුළට ගොස් ඔවුන් උසිගන්වා එම සරණාගත කඳවුරුවල අන්තවාදී අදහස් පැතිරවීමට ඔහු කටයුතු කර ඇති බවත් බ්රසිල නගරාධිපති යුවාන් මෙයර් පවසයි.
මේ අතර, 27 හැවිරිදි ඛලීඩ් අල් බක්රෝවි මෙට්‍රෝ දුම්රිය ස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා ගත් පුද්ගලයා ලෙස හඳුනාගෙන තිබේ.
ගුවන්තොටු පොළ සී.සී.ටී.වී. කැමරාවේ සිටින අනෙක් තැනැත්තා 29 හැවිරිදි ඊබ්‍රාහිම් අල් බක්රෝවි ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු ගුවන් තොටුපොළේදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවාගෙන මරණයට පත්ව තිබේ.
එමෙන්ම, 25 හැවිරිදි නජීම් ලැක්රෝවි ගුවන් තොටුපොළේ ක්‍රියාත්මක වූ දෙවැනි මරාගෙන මැරෙන බෝම්බකරු ලෙස හඳුනාගෙන ඇති අතර, පැරිස් ප්‍රහාරයේ සුන්බුන් අතර තිබී හමුවූ මරාගෙන මැරෙන ඇඳුම්වල තිබූ ඩී.එන්.ඒ. සමග ඔහුගේ ඩී.එන්.ඒ. ගැළපෙන බව අධිකරණය කියයි. ඉංජිනේරු ශිෂ්‍යයෙකු ලෙස හඳුනාගෙන ඇති ඔහු පැරිස් ප්‍රහාරයේ මෙන්ම, මෙම ප්‍රහාරයේද බෝම්බ නිෂ්පාදකයා ලෙසද විශ්වාස කෙරෙයි.