බ්රසල්ස් බෝම්බ ප්රහාරයට සම්බන්ධ වූ පුද්ගලයන් සිවු දෙනාගෙන් තිදෙනෙකු හඳුනාගැනීමට ආරක්ෂක අංශ සමත්ව ඇතත්, ප්රථම සී.සී.ටී.වී. දසුනේ සිටින තුන්වැන්නා පිළිබඳව මේ වනවිට අවධානය යොමු වී තිබේ.
පුද්ගලයන් 34 දෙනෙකුට මරු කැඳවමින්, තවත් 250කට වැඩි පිරිසකට තුවාල සිදුකළ මෙම ම්ලේච්ඡ ත්රස්ත ප්රහාරයට සම්බන්ධ සහෝදරයක් දෙදෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඔවුන් බ්රහීමී අල් බක්රෝව් හා ඛාලීඩ් බක්රෝව් ලෙස සඳහන් වේ.
ගුවන් තොටුපොළ ප්රහාරයට පැමිණි පුද්ගලයන් තිදෙනා අතර බ්රහීමී බක්රෝව් මෙන්ම, සිරියාවේ පවා ත්රස්ත මෙහෙයුම්වලට සම්බන්ධව සිට ඇති බෝම්බ නිෂ්පාදනයේද මහ මොළකරුවෙකු ලෙස සැලකෙන නජීම් ලාක්රෝවි සිට ඇත. එමෙන්ම, ඔවුන් දෙදෙනා සමග තවත් තුන්වැන්නෙකුද ගුවන් තොටුපොළට ඇතුළු වුවත් ඔහු මෙතෙක් හඳුනාගෙන නැත. එහිදී, මෙම තුන්වැන්නා බ්රහීමි සමග ගුවන් තොටුපොළ තුළදී මරාගෙන මැරෙන ප්රහාරයක් දියත් කරමින් ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, නජීම් සිද්ධියෙන් පසු පළා යමින් සිටින බවත් මුලින් සඳහන් කෙරුණි.
නමුදු, එරට ආරක්ෂක අංශ දැන් පවසන්නේ බ්රහීමි සහ නජීම් සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ඔවුන් දෙදෙනාම මරාගෙන මැරෙන ප්රහාර දියත් කර ඇති බවත්, තුන්වැන්නා සිද්ධියෙන් පසු අතුරුදන් බවත් ආරක්ෂක අංශ පවසන බව රොයිටර් පුවත් සේවය පවසයි.
කෙසේ වෙතත්, මෙම තුන්වැන්නා රැගෙන පැමිණි සුවිසල් සූට්කේස් බෝම්බය ක්රියාත්මක නොවීම වාසනාවක් බවද ආරක්ෂක අංශ පවසයි.
මේ අතර, බ්රහීමීගේ සහෝදරයා වන ඛාලීඩ් ඉන් විනාඩි 79 කට පසුව මෙට්රෝ උමං දුම්රිය තුළ සිය මරාගෙන මැරෙන ප්රහාරය දියත් කරමින් පුද්ගලයන් 20 දෙනෙකුට මරු කැඳවූ බවද මේ වනවිට සනාථ වී තිබේ.
ඒ අනුව, ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරාවල සටහන් වූ බ්රහීමි සහ නජීම් සමග ඒ තුළට බැගේජ් ට්රොලී තල්ලු කරගෙන කළු අත්වැස්මක් සහිත තුන්වැන්නා ගැන පොලීසියේ හා හමුදාවේ උකුසු ඇස යොමුව තිබේ.
මේ අතර, තුර්කි ජනපති පවසන්නේ බ්රහීමි මීට පෙර ආයුධ සොරකමක් හේතුවෙන් තුර්කියෙන් පිටුවහල් කළ අයෙකු බවයි. ඔහු පිළිබඳව අවධානයෙන් නොසිටීම ගැන තුර්කිය බෙල්ජියමට දොස් නඟා ඇති බවද විදෙස් වාර්තා පවසයි.