බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරය ප්‍රසන්න රණතුංග මහතාගෙන් ඉවත්කර සන්ධානය නියෝජනය කරන වෙනත් අයෙකුට එය ලබාදීම පිළිබඳව මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ හා ආණ්ඩුවේ ඇතැම් පිරිස් සූදානම් වන බවට 'අද'ට වාර්තා වේ.
ප්‍රසන්න රණතුංග මහතාගෙන් මහ ඇමති ධුරය ඉවත් කර එම තනතුර පළාත් සෞඛ්‍ය අමාත්‍ය රංජිත් සෝමවංශ මහතාට ලබාදීම වඩාත් සුදුසු බවට ද යෝජනා වී තිබේ.
ඉකුත්දා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා වී තිබුණු අතර, කළුතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන්ගෙන් එම ධුරය බාරගැනීමට සූදානම්දැයි විමසා තිබේ.
පසුගියදා නුගේගොඩ නගරයේදී පැවති රැලියට සහභාගි වීමට ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගෙන තිබූ තීරණයෙන් පසුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර මේ පිළිබඳව තවදුරටත් දීර්ඝව සාකච්ඡා කර තිබෙන බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.
බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රී ධූර 104 න් 56 ක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත්ය. ඉන් මන්ත්‍රීවරුන් 42 දෙනෙකු ප්‍රසන්න රණතුංග මහතා සමග නුගේගොඩ රැලියට සහභාගි වී තිබුණි.
මේ පිළිබඳව අදහස් දැක්වූ පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ පළාත් සභාවේ බහුතර මන්ත්‍රීවරු අයත් තනි කණ්ඩායමේ නායකයාට මහ ඇමති ධුරය පිරිනැමීම සිදුවන බවත්, ප්‍රසන්න රණතුංග මහතා සමග එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් සිටින නිසා ඔහුගෙන් ප්‍රධාන අමාත්‍යධූරය ඉවත් කිරීම නීති විරෝධී බවත්ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ නීතිය පිළිබඳව අවබෝධයක් නොමැති පිරිසක් එවැනි උත්සාහයක් දරන බව හෙතෙම ප්‍රකාශ කළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කළුතර දිස්ත්‍රික්ක පළාත් සභා මන්ත්‍රී පියල් නිශාන්ත මහතා සඳහන් කළේ මේ පිළිබඳව පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මහතා සමග සාකච්ඡා කළ බවත්, කිසිම අයුරකින් ප්‍රසන්න රණතුංග මහතාගෙන් ප්‍රධාන අමාත්‍යධූරය ඉවත් නොකරන බවට ඔහු පොරොන්දු වූ බවත්ය. මහින්ද රාජපක්ෂවාදියෙකු වන තමාද නුගේගොඩ රැළියට සහභාගි වූ බව මන්ත්‍රීවරයා කීය. නීතිවිරෝධී අන්දමින් ප්‍රසන්න රණතුංග මහතාගෙන් ප්‍රධාන අමාත්‍යධූරය උදුරාගෙන රංජිත් සෝමවංශ මහතාට ලබාදුනහොත් ඊට එරෙහිව කණ්ඩායමක් ලෙස දිවිහිමියෙන් කටයුතු කරන බව හෙතෙම අවධාරණය කළේය.