බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු එම පළාත් සභාවේ සභිකයින් 13 දෙනෙකු මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කර තිබේ.
කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණෙන් තරග කළ එස්.එම්. මරික්කාර්, මනෝ ගනේෂන්, මුජිබර් රහුමාන්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබේ.
2014 වසරේදී මාර්තු මාසයේදී පැවති බස්නාහිර පළාත් සභා මැතිවරණයෙන් තේරීපත්වූ එක්සත් ජාතික පක්ෂයේ මෙම මන්ත්‍රීවරුන් වෙනුවට මනාප ලැයිස්තුවෙන් ඊළඟට සිටිනා තුවාන් මොහොමඩ්, හරිස්චන්ද්‍ර කොස්තා, කිත්සිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට පළාත් සභා වරම් හිමි වී ඇත.
එසේම එම පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ උදය ගම්මන්පිල මහතා සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇති බැවින් නොරිස් විජේරත්න, සරත් සුමනසේකර මහත්වරුන්ට පළාත් සභා සභික ධූර හිමි වී තිබේ.
ගම්පහ දිස්ත්‍රික්යට යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණෙන් තරග කළ හර්ෂණ රාජකරුණා සහ කාවින්ද ජයවර්ධන යන මහත්වරුන් පාර්ලිමේන්තුවට තේරී පත්වීම නිසා රන්දීර් රොඩ්රිගෝ සහ මංජුල ප්‍රසන්න සම්පත් යන මහත්වරුන්ට පළාත් සභා මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමේ අවස්ථාව ලැබී තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ එම දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කළ ප්‍රසන්න රණතුංග, නිමල් ලන්සා, සිසිර ජයකොඩි යන මහත්වරුන් ජයග්‍රහණය කර තිබෙන නිසා කාමල් නයනකාන්ත කුරුප්පු, මධුමාධව අරවින්ද, ප්‍රදීප් චන්දන යන මහත්වරුන්ට පළාත් සභා මන්ත්‍රී ධූර හිමිවීමට නියමිතය.
මේ අතර කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙතෙක් කලක් පළාත් සභා මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පියල් නිශාන්ත සහ ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද ජයතිස්ස යන මහත්වරුන්ද පාර්ලිමේන්තුව තේරි පත්වී සිටිති.
ඒ අනුව පසුගිය පළාත් සභා මැතිවරණයේදී සන්ධාන ලැයිස්තුවේ සිටින තෙමුවන පියනන්ද හිමියන්ට සහ ජනතා විමුක්ති පෙරමුණේ ලැයිස්තුවේ සිටින නන්දන පත්මකුමාර මහතාට පළාත් සභා වරම් හිමි වී තිබේ.
මේ අතර ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවට තේරි පත්වීම හේතුවෙන් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යධූරය ලබාගැනීම සඳහා සන්ධානයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
පළාත් සභාවේ සභාපති සුනිල් විජේරත්න, රංජිත් සෝමවංශ, ගාමිණී තිලකසිරි යන මහත්වරුන් ප්‍රධාන අමාත්‍ය ධුරය ලබාගැනීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වෙයි.
මේ අතර, විපක්ෂයේ වගකීම් කොටස ඉටුකිරීමේ බලාපොරොත්තුවෙන් සියලු තනතුරු අත්හැර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ කටයුතු කරන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව පැරදී ඇති මොහොතක පළාත් මහ ඇමති ධුරයේ රැඳී සිටිමින් තනතුරු රැකගැනීමේ වුවමනාවක් තමන්ට නැති බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සිටගත්තේ සියලු තනතුරු අතහැර යාමේ බලාපොරොත්තුවෙන් බවත් රණතුංග මහතා කියා සිටියේය.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු යනු සාමාන්‍ය තනතුරක් වුවද, තමාට ඡන්දය දුන් 385,000 ක් වූ පාක්ෂිකයන් වෙනුවෙන් සිය යුතුකම ඉටුකිරීමට පසුබට නොවන බවද ඒ මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තුව තුළ විපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමේදී තමන්ට පක්ෂයෙන් ලබාදෙන ඕනෑම තනතුරක් ලබාගැනීමට සූදානම් බවද ප්‍රසන්න රණතුංග මහතා පවසා සිටියේය.