බස්නාහිර, ඌව සහ වයඹ පළාත් සභාවල ප්‍රධාන අමාත්‍ය ධුරයන්ට පුද්ගලයන් නම් කිරීම සැප්තැම්බර් 04 – 08 අතර දිනකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකරනු ඇතැයි වාර්තා වෙයි. පසුගිය දින කිහිපයේදී ජනාධිපතිවරයාට රාජකාරි කටයුතු රැසක් යෙදී තිබුණ බැවින් මෙම පත්කිරීම් ප්‍රමාද වූ අතර, පළමුවැනිදා නව පාර්ලිමේන්තුව ආරම්භ වීමත්, හතරවැනිදා ඇමතිවරුන් දිවුරුම් දීමත් යන අවස්ථාවලටද හෙතෙම සහභාගී වෙයි.
එබැවින් හතරවැනිදායින් පසුව යෙදෙන දිනකදී පළාත් සභා තුනෙහි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වෙන වෙනම කැඳවා ඔවුන්ගේ අදහස් විමසීමෙන් අනතුරුව මහ ඇමතිවරයා කවුරුන්ද යන්න ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධුරයට ඉල්ලුම්කර ඇති එම සභාවේ සභාපති සුනිල් විජේරත්න මහතා සඳහන් කළේ ඊළඟ සභාවාරය සැප්තැම්බර් 08 වැනිදාට යෙදෙන බැවින් ඊට පෙර අදාළ පත්කිරීම් සිදුකළ යුතු බවයි.
බස්නාහිර පළාත් සභාවේ සිටි ඇමතිවරුන් දෙදෙනෙකු ඇතුළුව 13 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින බැවින් එම ධුරයන් සඳහා ඇමතිවරුන් පත්කිරීමත්, නව මන්ත්‍රීවරුන් දිවුරුම් දීමත් එම සභාවාරයේදී සිදුකිරීමට නියමිත බව විජේරත්න මහතා පවසා සිටියේය.