දිවයිනේ ප්රධාන බස් නැවතුම් පොළ සහ දුම්රිය ස්ථාන 33ක් සඳහා මේ වනවිට නොමිලේ අන්තර්ජාල පහසුකම් (WiFi) ලබාදී ඇතැයි ශ්රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
ඒ අනුව, කොළඹ, ගම්පහ, මාතර, පොළොන්නරුව, යාපනය, පුත්තලම, හම්බන්තොට, ත්රිකුණාමලය ඇතුළු නගරවල මෙම වයිෆයි පහසුකම් ස්ථාපිත කර තිබෙන බව නියෝජිතායතනය වැඩිදුරටත් පවසයි.
නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදීමේ වයිෆයි කලාප දහසක් (1,000ක්) දිවයින පුරා ස්ථාපිත කිරීමේ වැඩසටහන යටතේ මෙය සිදුකරන බවත්, පොදු ප්රවාහන සේවා සඳහා ජනතාව වැඩි වශයෙන් යොමුවන අවධියක මගී ජනතාවට මෙය මහත් වාසියක් බවත් නියෝජිතායතනයේ කළමණාකාර අධ්යක්ෂ සහ ප්රධාන විධායක නිලධාරී මුහුන්දන් කනගේ මහතා සඳහන් කළේය.
මේ වනවිට නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදී තිබෙන පොදු ස්ථාන ගණන 105කි. අගමැති රනිල් වික්රමසිංහ මහතා විසින් පසුගියදා කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් මෙම නොමිලේ වයිෆයි පහසුකම ලබාදීම නිල වශයෙන් ආරම්භ කළ අතර, දකුණු ආසියාතික රටවල් අතරින් මෙවැනි පහසුකමක් ජනතාවට ලබාදෙන ප්රථම රට බවට ශ්රී ලංකාව පත්වන බවද නියෝජිතායතනය පෙන්වා දෙයි.