ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති 60 ක්, බස් සංගම් හා බස් සමාගම් 27 ක් එක්ව අද (01දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට වැඩවර්ජනයක් දියත් කිරීමට සැලසුම් කර තිබේ.මෙම වැඩවර්ජන ක්‍රියාවලියට දුම්රිය වෘත්තීය සමිති 60 ක් සහභාගි වන නිසා සියලුම දුම්රිය ගමනාගමන කටයුතු ඇනහිටින බව දුම්රිය සේවා වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
දුම්රිය ඉඩම් විකිණීම, දුම්රිය පෞද්ගලීකරණය කිරීමට යෝජනා කිරීම හා දේශපාලන හිතවත්කම් මත සේවකයන් බඳවාගැනීමට එරෙහිව මෙම ක්‍රියාමාර්ගය දියත් කරන බවද එම සංගමයේ ලේකම් සම්පත් රාජිත මහතා සඳහන් කළේය.ශ්‍රේණිගත දුම්රිය එකමුතුවද මේ සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන බවත්, මුල් අවස්ථාවේ සිදුකරන වර්ජන නිසා එය හෙට (02දා) රාත්‍රී 12.00 ට අවසන් කරන බවත් ඔහු පවසා සිටියේය.
මෙම ක්‍රියාමාර්ගයට නිසි විසඳුම් නොලැබුණහොත් අඛණ්ඩ වැඩවර්ජනයක් සිදුකරන බවද ලේකම්වරයා සඳහන් කළේය.අවම දඩමුදල රුපියල් 25,000 ක් කිරීමට එරෙහිව බස් සංගම් මෙම වර්ජන ක්‍රියාවලිය සිදුකරන බව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.වර්ජනය අවසන් කරන වේලාව තීන්දු කර නොමැති බවත්, ලැබෙන ප්‍රතිචාර අනුව එය සිදුකරන බවත් එම සංගමයේ සභාපති සරත් කුමාර මහතා සඳහන් කළේය.
වැඩවර්ජනය නිසා දුර ගමන් සේවා ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිටින බවත්, මෙම ක්‍රියාමාර්ගයට ත්‍රිරෝද රථ සංගම්, පාසල් ප්‍රවාහන සංගම් ඇතුළු සංගම් කිහිපයක්ද සහයෝගය දක්වන බවත් හෙතෙම පවසා සිටියේය.මේ අතර බස් වර්ජනය පිළිබඳව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාගෙන් 'අද' කළ විමසීමකදී සඳහන් කළේ තම සංගමය වර්ජනයට එක්වනවාද නැද්ද යන්න පිළිබඳව අද දහවල් 12.00ට පමණ තීන්දු කරන බවයි.
දඩ මුදල් පිළිබඳව නිෂ්චිත තීන්දුවක් කඩිනමින් ලබාදෙන ලෙස තමන් ප්‍රවාහන අමාත්‍යවරයාට හා අදාළ ආයතන නිලධාරීන්ට දැනුම් දුන්නත් මෙතෙක් ඒ පිළිබඳව කිසිදු දැනුම්දීමක් නොමැති බවත් ඒ අනුව හෙට දහවල් වනතුරු අදාළ නිල දැනුම්දීම ලැබෙතැයි අපේක්ෂාවෙන් පසුවන බවත්ය.කෙසේ වෙතත් ආණ්ඩුව සාධාරණ තීන්දුවක් නොගතහොත් බස් වර්ජනයට සහාය දැක්විය යුතු බවට තම සංගමයේ සාමාජිකයන්ගෙන් ඉල්ලීම් ලැබී ඇතැයිද ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, බස් හා දුම්රිය වර්ජනය නිසා ලංගම රියදුරන්, කොන්දොස්තරවරුන් සහ කාර්මික සේවකයන්ගේ නිවාඩු දෙසැම්බර් 01 වැනිදා සිට සතියක කාලයකට අවලංගු කර ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා පැවසීය.දෙසැම්බර් 06 වැනිදින ආරම්භ වන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වන සිසුන්ගේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් හා දුරගමන් සේවා පිළිබඳ සැලකිල්ලට ගනිමින් බස්රථ සේවා වැඩි වශයෙන් යෙදවීමට තීරණය කර ඇතැයිද සභාපතිවරයා සඳහන් කළේය.
ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ධාවනය කරවනු ලබන 5300 ක් වූ බස් රථ සංඛ්‍යාව 6000 ක් දක්වා වැඩිකොට ප්‍රවාහන සේවයේ ඇති විය හැකි හදිසි වර්ජන අවස්ථාවකට මුහුණදිය හැකි පරිදි ධාවනයට යොදවන බවද සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය.