ලංගමයට ගෙන්වූ නව බස්රථ 2200 අවිධිමත් ආකාරයට ධාවනය කිරීම නිසා පෞද්ගලික බස් කර්මාන්තයට එය දැඩි බාධාවක් වී තිබෙන බවත්, මෙම තත්ත්වය නවතා දැමීමට කටයුතු නොකළහොත් එයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළේය.
ඊයේ (15දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ එහි සභාපති ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේ අවිධිමත් ආකාරයට ලංගම බස්රථ ධාවනය කිරීම නිසා පෞද්ගලික බස්රථ අර්බුදයකට මුහුණදීමට අමතරව අසීමිත ලෙස පෙට්‍රල් මිල පහළ දැමීම නිසා එය බස් කර්මාන්තයට දැඩි පහරක් වී තිබෙන බවයි.
ඉන්ධන මිල පහළ දැමූ ගෙවීගිය මාසයක කාලයක තුළ පෙට්‍රල් භාවිත කරන වාහන මහාමාර්ගයට එකතුවීම විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බවත්, මේ තත්ත්වය මත පෙට්‍රල් භාවිතය 7.6෴කින් ඉහළ ගොස් තිබෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය.
එහෙත් ඩීසල් භාවිතය ඉහළ ගොස් තිබෙන්නේ 0.66෴ ක ප්‍රමාණයකින් බවත්, මේ නිසා බස් කර්මාන්තය රැකගැනීම සඳහා සියලුම වාහන ගෙන්වීම සීමාකළ යුතු බවත් ඔහු පවසා සිටියේය.
රට තුළ ඒකාබද්ධ කාලසටහන් ක්‍රියාත්මක නොවන නිසා වර්තමානයේදී චක්‍රීය කාලසටහනක් යටතේ බස් රථ ධාවනය වන බවත්, එහෙත් අලුතින් ලංගමයට ලබා දී තිබෙන බස්රථ 2200 ම එම ක්‍රමයට පයින් ගසා ලංගමට සිතූ සිතූ ආකාරයට ධාවනය කරන බවත් ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.