තමන් බලයට පැමිණියේ දූෂණ වංචා නැවැත්වීමට බවත් පක්ෂ පාට තනතුරු කුමක් වුවත් දූෂිතයන්ට දඬුවම් ලබාදීමට බවත් බැඳුම්කර නිකුතුව පිළිබඳව නැගුණු චෝදනා පාපිස්ස යටට නොදැමූ බවත්ආණ්ඩුව විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාකරන බවත්මේ බැඳුම්කර වංචාවට කිසියම් හෝ නිලධාරීන් පිරිසක් හවුල් නම් ඒ අයට නීතිය අනුව ක්‍රියාකරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18දා) ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය සම්පූර්ණයෙන් පහත දැක්වේ.
&අපි බලයට ආවේ දූෂණය හා වංචාව නවත්වන්නයි. පක්ෂ පාට තනතුරු කුමක් වුණත් දූෂිතයන්ට දඬුවම් ලබාදෙන්නයි. බලයට පත්ව ටික කලෙකින් බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ චෝදනා නැගුණා. අපි එය පාපිස්ස යටට දැම්මේ නෑ.
සති දෙකක් ඇතුළත විමර්ශන කමිටුවක් පත්කළා. විමර්ශන කාලය තුළ මහබැංකු අධිපති රාජකාරි කටයුතුවලින් ඉවත් වුණා. පාර්ලිමේන්තුව දැනුවත් කළා. පාර්ලිමේන්තුවට උවමනා නම් තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස මම දැනුම් දුන්නා. විමර්ශන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
මෙතෙක් කල් කෝප් කමිටුවේ සභාපතීත්වය දැරුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක්. වත්මන් පාර්ලිමේන්තු කෝප් කමිටු සභාපතීත්වය විපක්ෂ මන්ත්‍රීවරයෙකුට දුන්නා. කමිටුව මගින් බැඳුම්කර නිකුතුව පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළා. ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. විවාද කළා. මේ වාර්තාව පිළිබඳ සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා 2016 ඔක්තෝබර් 31 වැනිදා නීතිපතිවරයාට යොමුකළා.
මේ ගැන විශේෂයෙන්ම පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම ගැන වැඩිදුර පරීක්ෂණ පැවැත්විය යුතු බව කෝප් කමිටුව නිර්දේශ කර තිබුණා. ඒ අනුව ජනාධිපතිතුමා මා සමගත් සාකච්ඡා කර ජනාධිපති කොමිසම පත්කළා. කොමිසමේ කටයුතුවලට අපි සහාය දුන්නා. අපේ ඇමතිවරු කොමිසම හමුවට ගියා. මමත් ගියා.චෝදනාවක් එල්ල වූ විට එය විමර්ශනය කිරීම සඳහා මේ ආකාරයට කටයුතු කළ කිසිම ආණ්ඩුවක් නෑ. තුන් වතාවක් අපි මේ ගැන පරීක්ෂණ කළා.
පසුගිය ආණ්ඩුව සමයේ අවස්ථා ගණනාවකදීත් මේ ආකාරයෙන් චෝදනා එල්ල වුණා. නමුත් ඒ කිසිම අවස්ථාවක ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකළේ නෑ. පාර්ලිමේන්තුවට කරුණු හෙළිකළේ නෑ. පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළ අවස්ථාවන්හි පවා පිළිතුරු දුන්නේ නෑ.
ලංකාවේ මූල්‍ය පාලනය සතු පාර්ලිමේන්තුවටයි. පාර්ලිමේන්තුවේ මේ බලය අමතක කර තිබුණා. අපි පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලන බලය යළිත් තහවුරු කිරීමටයි කෝප් කමිටුව සහ පාර්ලිමේන්තුවට මේ වගකීම බාරදුන්නේ. එම වගකීම එතැනින් ඉවත් කිරීමට බැහැ. පාර්ලිමේන්තුව සිය මූල්‍ය පාලන බලතල නිසි අයුරින් පාවිච්චි කළ අවස්ථාවක් ප්‍රදර්ශනය කිරීමක් ලෙස බැඳුම්කර සිදුවීම උඩ අපි දැක්කා. ආණ්ඩුව විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාකරන බවට හොඳම උදාහරණයක්.
මේ බැඳුම්කර නිසා පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම අයුතු ලෙස බිලියන 9.2ක් උපයා ගෙන ඇති බව කොමිසම් වාර්තාවේ සඳහන්. මා ඇමති ධුරය දරන ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ඇති මහබැංකුව මේ වනවිටත් ඒ සමාගමේ බිලියන 12ක මුදලක් රඳවා ගෙන තිබෙනවා.
ඒනිසා කොමිසම නිර්දේශ කළ පරිදි රුපියල් බිලියන 9.2ක නැවත ලබාගන්න පුළුවන්. අපි ඒ සඳහා කොමිසම විසින් යෝජනා කළ ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. එවිට මේ මුළු මුදලම රජයට ලබාගන්න පුළුවන්. රජයට කිසිදු අලාභයක් සිදුවන්නේ නෑ. ඒ වගේම මේ වංචාවට කිසියම් හෝ නිලධාරීන් පිරිසක් හවුල් නම් ඒ අයට නීතිය අනුව ක්‍රියාකරනවා.
බැඳුම්කර පිළිබඳ චෝදනාව එල්ල වූ අවස්ථාවේ පටන් ඒ සඳහා අවශ්‍ය විමර්ශන කරන්නට අපි උපරිම සහාය දුන්නා. දැන් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නත් අපි උපරිමයෙන් ක්‍රියාමාර්ග ගන්නවා.අපේ ආණ්ඩුව ප්‍රතිපත්ති ගරුක, විනය ගරුක, ශීලාචාර ආණ්ඩුවක් බව ක්‍රියාවෙන්ම ඔප්පු කිරීමට අපට පුළුවන් වෙලා තිබෙනවා.
මෑත ඉතිහාසයේ මේ ආකාරයෙන් ආණ්ඩුව කටයුතු කළ අවස්ථාවක් අප දුටුවේ නෑ. අපේ ඇමතිවරු සම්ප්රදාය කඩකිරීම පිළිබඳ ඉල්ලා අස්වුණා. නීතිය ක්‍රියාත්මක වුණා. ඇඟිලි ගැසීම් නොමැතිව අධිකරණය තීන්දු දුන්නා. ජනතාව නිදහසේ අදහස් දැක්වූවා. ජනමාධ්‍ය බයක් නැතුව කටයුතු කළා.
ඒ විතරක් නෙවෙයි. බැඳුම්කර වාර්තාවෙන් චෝදනා ලබන අපේ පක්ෂ‘යේ සාමාජිකයන් ඉන්නවා නම් ඒ අය පිළිබඳ සොයා බලා තීරණයක් ගන්න අපි තිලක් මාරපන මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබෙනවා. කමිටු නිර්දේශය අනුව අපි ක්‍රියාමාර්ග ගන්නවා.
ඒ එක්සත් ජාතික පක්ෂ සම්ප්රදායයි. ඒ අප ඇති කරමින් ක්‍රියාත්මක කරන සම්ප්රදායයි. අපේ පක්ෂ‘යේ සම්ප්රදාය සහ යහපාලන සංකල්පය අනුව යමින් අපි රට හදනවා. ගම හදනවා. යහපත් හෙටක් මේ රටට උදා කරනවා.
ජනවාරි 08 වැනිදා මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණු වෙනස, යහපත් සමාජය අපි උදාකරනවා. එය එක දවසින්,එක රැයෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ විභාගයත් එයට ආරම්භයක් ලෙස සලකන්න පුළුවන්. අපි අතීතයත් වර්තමානයත් පිළිබඳ එක සේම අවධානය යොමු කරනවා. අපි හරි පාරේ ඉදිරියට යනවා. වැරදි නිවැරදි කර ගන්නවා. අඩුපාඩු සකස් කරගන්නවා.
බැඳුම්කර පිළිබඳ චෝදනාව එල්ල වූ අවස්ථාවේ සිට මේ දක්වා අප ගත් ක්‍රියාමාර්ග මගින් පෙන්නුම් කරන්නේ අපේ හොඳ ආරම්භයක් ගෙන ඇති බවයි. අප සොයා බලන්නේ පසුගිය රජයේ දූෂණ, වංචා ගැන පමණක් නෙවෙයි. වර්තමානයේ එල්ල වන දූෂණ චෝදනා ගැනත් අප සොයා බලනවා. විමර්ශනය කරනවා. නිසි පියවර ගන්නවා.
අපේ රටට යහපත් අනාගතයක් උදාකරදීම අපේ අරමුණයි. අපේ රට යහපත් හා පොහොසත් රටක් බවට පත්කිරීම අපේ අරමුණයි. ඒ අරමුණ ජයගැනීම සඳහා අපි එකට එක්ව කටයුතු කරමු. අභියෝග ජය ගනිමු. බලගතු ශ්‍රී ලංකාවක් නිර්මාණය කරමු.*