කැබිනට් මණ්ඩල තීරණයක් පරිදි අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් පවරන ලද බලතල සහිතව පිහිටුවන ලද බරපතළ මූල්‍ය අපරාධ සහ දූෂණ විමර්ශන කොට්ඨාශය අද (26දා) සිට ක්‍රියාත්මක වේ.
පසුගිය ආණ්ඩු කාලයේදී ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සඳහා කොල්ලුපිටියේ පවත්වාගෙන ගිය කාර්යාලය තුළ මෙම ඒකකය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. මේ අනුව අංක 356/B, කැලවිල් පෙදෙස, කොළඹ 03 යන ස්ථානයේ පිහිටුවා තිබෙන මෙම කාර්යාලයේ කටයුතු අද (26දා) මහජන සාමය, ආපදා කළමනාකරණ සහ ක්‍රිස්තියානු කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ.
මෙම කොට්ඨාසයේ සියලුම පරිපාලන කටයුතු, විනය පාලනය, මූල්‍ය පරිපාලනය පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ සිදුවන අතර, එම ඒකකයේ ප්‍රධානීන් ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු යෙදවීමට සැලසුම් කර ඇත.
මේ අනුව මහා පරිමාණ මූල්‍යමය අපරාධ, දූෂණ හා විශාල ප්‍රමාණයේ අනවසර ව්‍යපෘති, මහ පරිමාණ මහජන මුදල් සහ දේපළවලට එරෙහි අපරාධ පිළිබඳ පැමිණිලි මෙම ඒකකට ලබාදිය හැකිය.
මීට අමතරව ජාතික ආරක්ෂාව, මූල්‍ය, සෞඛ්‍ය හා පරිසරයට සිදුකරන විනාශ, නීතිවිරෝධී ලෙස වත්කම් රැස්කිරීම, නිල බලය අයුතු ලෙස යොදාගැනීම, මුදල් විශුද්ධිකරණය හා ත්රස්තවාදීන්ට මුදල් සැපයීම, නීතිවිරෝධී ගනුදෙනු පිළිබඳව මෙම ඒකකයට පැමිණිලි කිරීමට අවස්ථාව ලබාදී තිබේ.