ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශ මත ප්‍රථම නඩු දෙක නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අද (24දා) පවරන ලදී.
බරපතළ වංචා සහ දූෂණ සිද්ධි සෙවීම සඳහා පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශ මත මෙලෙස ප්‍රථම නඩු දෙක පවරන ලද්දේ හිටපු ධීවර කටයුතු අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු පිරිසකට එරෙහිවය.
මීගමුව කලපු සංවර්ධනයට මහා භාණ්ඩාගාරයෙන් ලබාදුන් රුපියල් කෝටියකට අධික මුදලක් අවභාවිත කරමින් පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂමහතාගේ අවසන් රැලිය මීගමුව නගර සභා ක්‍රීඩාංගණයේ පැවැත්වූ බවට සහ ධීවර වරාය නීතිගත සංස්ථාවේ මුදල් අවභාවිත කරමින් එම ජනාධිපතිවරණ සමයේදීම දිනපොත් මුද්‍රණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ මෙලෙස නඩු පවරන ලදී.
බරපතළවංචා සහ දූෂණ විමර්ශන කොමිසම හමුවේ ප්‍රථමයෙන්ම මේ පිළිබඳ තොරතුරු හෙළි වූ අතර, එහි නිර්දේශ මත රහස් පොලීසිය විසින් සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුව නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙලෙස අධිචෝදනා ගොනුකර ඇත.
මීගමුව කලපුව සංවර්ධනය සඳහා අයවැයෙන් වෙන්කර තිබූ මුදල්වලින් රුපියල් 11,278,000ක මුදලක් පසුගිය ජනාධිපතිවරණ කාලසීමාව තුළදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අවසන් ජනාධිපතිවරණ රැලිය පැවැත්වීම සඳහා වියදම් කිරීමට කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව එම මුදල් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කිරීම සහ ඒ සඳහා අධාර අනුබල දීම යන චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා නගා ඇත.
විත්තිකරුවන් පොදු දේපොළ පනත යටතේ හා දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බව අධිචෝදනා පත්‍රයේ සඳහන් කර තිබේ.
ඊට අමතරව ධීවර වරාය නීතිගත සංස්ථාවේ රුපියල් 1,090,000ක මුදලක් අවභාවිත කරමින් එම ජනාධිපතිවරණ සමයේදීම දිනපොත් මුද්‍රණය කිරීමට කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව දිනපොත් මුද්‍රණය කිරීම සහ ඒ සඳහා ආධාර අනුබල දීම යන චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා නගා ඇත.
විත්තිකරුවන් පොදු දේපොළ පනත යටතේ හා දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බවද අධිචෝදනා පත්‍රයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.