බන්ධනාගාරවල සිටිමින් දුරකථන මගින් සිදුකරන අපරාධ වැළැක්වීම සඳහා සිරකරුවන් පිළිබඳව සොයා බැලීමට නවීන තාක්ෂණයත්, බන්ධනාගාර බුද්ධි අංශයත් පුළුල් කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රෝහණ පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
බන්ධනාගාරගතව සිටිනා සිරකරුවන් බොහෝ අපරාධ සිදුකරන බවට චෝදනා එල්ල වී තිබෙන නමුත් සමස්ත අපරාධ වලටම බන්ධනාගාර සිරකරුවන්ට චෝදනා කිරීම සාධාරණ නොවුණ බවද හෙතෙම පැවසීය.
එහෙත් සිරකරුවන් විසින් දුරකථන යොදාගෙන යම් යම් නීති විරෝධී කටයුතු සිදුකරන බැවින් බන්ධනාගාර තුළ තිබෙනා දුරකථන අත්අඩංගුවට ගැනීමට නිරතුරුවම සෝදිසි මෙහෙයුම් දියත් කරන බවද ඒ මහතා පැවසීය.
එමෙන්ම යම් යම් නිලධාරීන් හරහා සිරකරුවන්ට ජංගම දුරකථන ලැබීම වළක්වා ගැනීම සඳහා හෙට (22දා) සිට බන්ධනාගාර බුද්ධි අංශයට තවත් නිලධාරී 25 දෙනෙකු අනුයුක්ත කරන බවද පවසා සිටියේය.
මීට අමතරව සිරකරුවන් ශරීරය තුළ සඟවාගෙන බන්ධනාගාර තුළට ජංගම දුරකථන රැගෙන එම වැළැක්වීම සඳහා බන්ධානාගාරවලට බොඩි ස්කෑන් යන්ත්ර සවිකරන බවත්, මෙම ස්කෑන් යන්ත්ර දැනටමත් බෝගම්බර හා මහර බන්ධනාගාරයන් තුළ ස්ථාපිත කර තිබෙන බවද රෝහණ පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
මීට අමතරව කොළඹ ආශ්රිත බන්ධනාගාර දෙකක ස්කෑන් යන්ත්ර සවිකිරීම සඳහා මේ වසරේ දෙසැම්බර් මාසයේදී ස්කෑන් යන්ත්ර මිලදී ගැනීමට කටයුතු කරන බවද පවසා සිටියේය.
එමෙන්ම කොළඹ ප්රදේශයේ බන්ධනාගාර තුනක ජංගම දුරකථන සම්බන්ධතා අවහිර කිරීමට යන්ත්ර සවිකර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.