කොග්ගල මුහුදට තෙල් දැමූ බංගලාදේශ නැවේ කපිතාන්වරයා වහාම අල්ලන ලෙස ජාත්‍යන්තර පොලීසියට නියම කළ කොළඹ මහාධිකරණය ඒ සඳහා රතු නිවේදනයද නිකුත් කරන ලදී.
'අමනට් ෂා' නමැති බංග්ලාදේශ නැවේ කපිතාන්වරයා ලෙස කටයුතු කළ ඉන්ටකාදීන් චෞද්රි නමැත්තා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය මෙලෙස රතු නිවේදනය නිකුත් කරනු ලැබුවේ සිතාසි බාරගෙන ඔහු නඩු විභාගය සඳහා උසාවියට නොපැමිණීම නිසාය.
ධාන්‍ය සහ දැව තොගයක් රැගෙන යාත්‍රා කරමින් තිබූ 'අමනාට් ෂා' නෞකාව 2006/09/09 වැනිදා කොග්ගලට නුදුරු මුහුදේදී යාන්ත්‍රික දෝෂයකට ලක්වී තිබුණි. අනතුරුව නෞකාව අලුත්වැඩියා නොකොට එහි තිබූ ඉන්ධන තොගයක් ලංකා මුහුදට එක් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් නෞකාවේ කපිතාන්වරයාට එරෙහිව නඩු පවරා ඇත.
එලෙස නඩු පවරන ලද්දේ 1981 අංක 59 දරණ සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත යටතේය.
මෙම නඩුව සඳහා පෙනී සිටින ලෙස නෞකාවේ කපිතාන්වරයාට දැනුම් දී ඇතත්, ඔහු උසාවියට පැමිණ සිටියේ නැති අතර, ඔහු අල්ලා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය මාර්ගයෙන් රතු නිවේදන නිකුත් කරන්නැයි රජයේ නීතිඥ නයෝමි වික්‍රමසේකර මෙනවිය ඉල්ලීමක් කළාය.