ජනතාව කසළ වර්ගීකරණය කර ලබාදෙනවා සේම බස්නාහිර පළාත තුළ පිහිටි සියලුම පළාත් පාලන ආයතන කසළ වර්ගීකරණය කර කසළ අංගනවලට බාරදිය යුතු බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා සඳහන් කළේය.
ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ, අද (19දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය. ජනතාව කසළ වර්ග කර ලබාදෙන බවත්, එහෙත් කොළඹ මහනගර සභාව ඇතුළු ආයතන කිහිපයක් ජනතාව වර්ග කර ලබාදෙන කැළි කසළ එකම ට්‍රැක්ටරයක ගෙන ගොස් කසළ අංගනවලට බැහැර කරන බවත් හෙතෙම පවසා සිටියේය.
මීතොටමුල්ල කුණු කන්ද ප්රතිචක්රීයකරණය කිරීම සඳහා එංගලන්ත සමාගමකට ලබාදීමට සැලසුම් කළ බවත්, එහෙත් කසළ කන්ද නායයෑම හේතුවෙන් එම ව්‍යාපෘතිය සිදුනොකරන බවත් ප්‍රධාන අමාත්‍යවරයා පවසා සිටියේය.
අදාළ සමාගමට කසළ කළමනාකරණයට තාක්ෂණික දැනුම හා මූල්‍ය ශක්තිය නොමැති බවට සඳහන් කළද එම සමාගම එංගලන්තයේ ක්‍රියාත්මක වන සමාගමක් බව හෙතෙම පැවසීය.