ගැබිනි මවුවරුන්ට පෝෂණ මල්ල ලබා නොදෙන රජයේ නිලධාරීන් පිළිබඳ පොලීසියට හෝ ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි යොමුකරන ලෙස ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී රෝසි සේනානායක මහත්මිය ඉල්ලා සිටියි.
එළඹෙන මැතිවරණයෙන් පසු ආණ්ඩු මාරු වෙන බව පවසමින් මහින්දවාදී රාජ්‍ය නිලධාරීන් ගැබිනි මවුවරුන්ට නිර්දේශ කර ඇති පෝෂණ මල්ල ලබා නොදෙන බවට පැමිණිලි විවිධ ප්‍රදේශවලින් ලැබෙන බවත්, මෙම පෝෂණ මලු සඳහා ප්‍රතිපාදන රජයෙන් වෙන්කර තිබියදී ඒවා බෙදාහැරීම පැහැර හැරීම වරදක් බවද අමාත්‍යවරිය පැවසුවාය.
කෙසේවෙතත් එවන් වැරදි සිදුකරන නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන බවත්, මෙවැනි නිලධාරීන් වෙතොත් ළඟම ඇති පොලීසියට හෝ ලේකම්, ළමා කටයුතු අමාත්‍යාංශය, 06 වැනි මහල, සෙත්සිරිපාය, දෙවන අදියර, බත්තරමුල්ල යන ලිපිනයට හෝ පැමිණිලි යොමුකරන ලෙසද අමාත්‍යවරිය අද (12දා) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළාය.