කොළඹ වරාය නගර ව්‍යාපෘතිය (පෝට්සිටි) නතර කිරීම සඳහා රජය කිසිම තීරණයක් ගෙන නොමැති බවත්, එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සෑම විටම තීන්දු තීරණ ගනු ලබන්නේ සබුද්ධිකව හා විද්‍යනුකුලව බවත් මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ (17දා) පැවසීය.
උද්ඝෝෂණ මත, කටකතා මත තීන්දු තීරණ නොගන්නා බවත්, රජය සෑමවිටම කටයුතු කරනුයේ කෝටි දෙකක ජනතාවක් ගැන සිතා බවත් ඇමතිවරයා අවධාරණය කළේය.
පෝට්සිටි ව්‍යාපෘතියට විරුද්ධව මීගමුව ප්‍රදේශයේ ධීවර ජනතාව උද්ඝෝෂණයක් පවත්වා තිබීම පිළිබඳ අදහස් දැක්වීම සඳහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව කියා සිටියේය.
“ධීවර සමිති ශ්‍රෙෂ්ඨාධිකරණයට ගොනුකළ පෙත්සම මත අපට නියෝගයක් ලබා දී තිබෙනවා. ධීවර සමිතිවලටත් දීලා තියෙනවා. ශ්‍රෙෂ්ඨාධිකරණය ඒ කරුණු සැලකිල්ලට අරගෙන විද්‍යාත්මක පදනමක් මත මේ කටයුතු කරනවා කියලා අධිකරණයට හැඟී ගිය නිසා ඉදිරියට යන්න අවසර ලබා දුන්නා. ධීවරයන්ට යම්කිසි ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා නම් අපේ අමාත්‍යාංශ ලේකම්තුමාට දන්වන්න කියා නියෝගයක් ලබා දුන්නා. නීතිය රකින පිරිසක් හැටියට, රාජ්‍ය ආයතනයක් හැටියට අපි ඒ නීතිමය තත්ත්වය තුළ ක්‍රියාකරනවා. අපි ඒක කඩකරන්න යන්නෙ නෑ. මේ ගිවිසුමේ වගන්ති එක්ක ක්‍රියා කරනවා. ප්රතිපාර්ශ්වය ගිවිසුමේ කොන්දේසි ඉටුකරනවාද කියන එක ගැන අපි විමසිල්ලලෙන් බලා ඉන්නවා. මේක අතිවිශාල ව්‍යාපෘතියක් නිසා විටින් විට ප්‍රශ්න පැනනගින්න පුළුවන්. ඒ දිහා අපි විමසිල්ලෙන් බලන් ඉන්නවා. අපේ අමාත්‍යාංශ තීරණ ගන්නේ, නාගරික සංවර්ධන අධිකාරිය තීරණ ගන්නේ සබුද්ධිකව. විද්‍යනුකූල සාධක මත. කටකතා මත, සටන් පාඨ මත, උද්වේග මත අපි තීරණ ගන්නෙ නෑ. යම් ආකාරයක සබුද්ධික විද්‍යානුකූල සාධයක් ලැබුණොත් ඒ මත අපි තීරණ ගන්නවා.
මුහුදෙන් වැලි ලබාගන්නා ග්රෙජර් එක දාන්න ප්‍රථම ඒ අයගේ මත්ස්‍ය අස්වැන්න මොකද්ද කියලා නාරා ආයතනයට අදහසක් තියෙනවා. දැන් මේක දැම්මට පස්සෙ ඒ අයගේ මත්ස්‍ය අස්වැන්න අඩුවෙලාද කියලා අපි මාසෙන් මාසේ මනිනවා. අඩුවුණු ප්‍රමාණයට අපි වන්දි ගෙවනවා. ඒකට මුදල් වෙන්කරලා තියෙනවා. ඒ බව ඔවුන්ට අපි හොඳින්ම ප්‍රකාශ කර තිබනවා.
ඊට එහා ගිය යම් පාරිසරික හානියක් තිබෙනවා නම් ඒ පිළිබඳ අපි පරීක්ෂාවෙන් ඉන්නේ. ඇතැම් අය චෝදනා කරලා තියෙනවා කොරල්පර කැඩෙනවා, කොරල්පර ගිලා බහිනවා, කොරල්පර පුපුරලා කියලා. ඒවා සම්බන්ධයෙන් අපි අනිවාර්යයෙන්ම සොයා බැලීමක් කරලා පියවර ගන්නවා. ජනතාවගේ පැත්තෙන්, පරිසරය පැත්තෙන් සිටිමිනුයි අදාළ සමාගම සමග අපි කටයුතු කරන්නේ.
අපි ධීවර ප්‍රජාව ගැන විතරක් නෙවෙයි මේ මුළු රටේම දෙකෝටියක් වන ජනතාවගේ අනාගතය ගැන බලලා තමයි කටයුතු කරන්නේ. අපේ පැත්තෙන් අපි යුක්ති සහගත විදියට, නීතිමය මූලධර්ම මත කටයුතු කරලා තියෙනවා. ගිය සිකුරාදා ඔවුන්ට අපි සාකච්ඡාවක් දුන්නා. පැය ගාණක් කතාකළා. පසුව අපේ වෙනත් ඇමතිතුමාලා ඔවුන් හමුවෙන්න ගිය වෙලාවේ ප්‍රකාශ කර තිබෙනවා සාකච්ඡා සඳහා ව්‍යාපෘතිය නතර කරලා එන්න කියලා. ඒක රජය විසින් ගන්න ඕන තීරණයක්. ව්‍යාපෘතිය තියෙනවද නතර කරනවද කියලා ජනාධිපතිතුමා අගමැතිතුමා තීරණය කරන්න ඕන. අපට මේ ගිවිසුමෙන් ලබාදීලා තියෙන බලය මත දැනට අපි ක්‍රියාකරනවා* යනුවෙන් හෙතෙම පවසා සිටියේය.
මෙහිදි අදහස් දැක්වූ ව්‍යාපෘති අධ්යක්ෂ නිහාල් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ පෝට්සිටි ව්‍යාපෘතිය සඳහා මුහුදු වැලි ගොඩදමනුයේ ගොඩබිමේ සිට කිලෝමීටර් හතරක් දුරින් සිට බවයි.