පොළොන්නරු දිස්ත්‍රික්කය තුළ නීතිවිරෝධී මැණික් ගැරීම සහ කැළෑ කැපීම විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බවත්, මීට අමතරව හඳුනා නොගත් වකුගඩු රෝගයක් පැතිර යමින් තිබෙන බවත් පොළොන්නරු දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියවංශ මහතා සඳහන් කළේය.
මීට අමතරව ජනතාව මත්ද්‍රව්‍ය භාවිත කිරීමට හා සාමාන්‍ය ආහාර රටාවෙන් ඉවත් වී ක්ෂණික ආහාර පරිභෝජනයටත් හුරු වී තිබෙන බවද ඔහු පවසා සිටියේය.
'රට වෙනුවෙන් පිබිදෙන පුලතිසි යොවුන් කඳවුර' පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඊයේ (07දා) කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ හඳුනානොගත් වකුගඩු රෝගයට ලක්වූවන් 500කට අධික ප්‍රමාණයක් පොළොන්නරු දිස්ත්‍රික්කය තුළින් වාර්තාවන බවයි.
කෘෂිකාර්මික හා සංවර්ධන කටයුතු නිසා කැලෑ විනාශයන් සිදුවන බවත්, මීට අමතරව නීතිවිරෝධී ආකාරයට මැණික් ගැරීම හා කැළෑ කැපීමද සිදුවෙමින් පවතින බවත් ඔහු පවසා සිටියේය. මෙම තත්ත්වය රාජ්‍ය නිලධාරීන්ට පමණක් පාලනය කිරීමට නොහැකි බවත්, ඒ සඳහා ප්‍ර‘දේශයේ තරුණ ප්‍රජාවගේ සහයෝගය ලබාගන්නා බවත් හෙතෙම සඳහන් කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව රට වෙනුවෙන් පිබිදෙන පුලතිසි යොවුන් කඳවුර මේ මස 10 වැනිදා සිට 13 වැනිදා දක්වා පැවැත්වෙන බවද ඔහු පවසා සිටියේය.
ගමේ සිටින නායකයන් හඳුනාගැනීම සඳහා මෙම වැඩපිළිවෙළ දියත් කරන බවත්, මෙම කඳවුර පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදී පැවැත්වෙන බවත් රංජිත් ආරියවංශ මහතා සඳහන් කළේය.