ඓතිහාසික පොළොන්නරුව පුරවරයේ පුරාවිද්‍යා වටිනාකමත්, අතීත අභිමානයත් විදහා දැක්වෙන අයුරින් එහි සියලු පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය කිරීම හා වැඩිදියුණු කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛතීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26දා) පවත්වා තිබේ.
පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක බව කියයි.
විශේෂයෙන් ගල් විහාරය අවට පූජා භූමියේ සංවර්ධන කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡා වී ඇති අතර, පූජා භූමිය තුළ සහ අවට මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම මෙන්ම විදුලි ආලෝකය ඇතුළු පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳවද අවධානය යොමුවී තිබේ.
එමෙන්ම, පූජා භූමියට පැමිණෙන ජනතාවගේ පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳවද සාකච්ඡා වී ඇත. එහිදී, පූජා භූමියේ පෞරාණික වටිනාකම් ආරක්ෂා කරමින් සහ එහි පැමිණෙන බැතිමතුන්ගේ සිත් පහන්වන අයුරින් පරිසරය සකස් කරමින් එම සංවර්ධන කටයුතු සැලසුම් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පැහැදිළි කර තිබේ.
එමෙන්ම, පූජා භූමියට පැමිණෙන විදේශ සංචාරකයන්ට බෞද්ධ දර්ශනයේ වැදගත්ම පිළිබඳ පණිවුඩයක් ලබාදිය හැකි අයුරින් එහි නිර්මාණාත්මක කටයුතු සිදුකළ යුතු බවද, මෙම සියලු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී විධිමත් සැලසුම් ඔස්සේ ඒවා ක්‍රියාත්මක කළ යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
එමෙන්ම, ඓහිතාසික පොළොන්නරුව පුරවරයේ අභිමානය විදහා දැක්වෙන අයුරින් පොළොන්නරුව පුරවරයට ප්‍රවේශ වන ස්ථානයේ වාහල්කඩක් ඉදිකිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබේ.
අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍ය වේඬරුවේ උපාලි නායක ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නයද, පුරා විද්‍යා අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ප්‍රිශාන්ත ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එකව සිටියහ.