පෝස්ටර් ඇලවීමේදී, පත්‍රිකා බෙදීමේදී සහ කැන්වසින් කිරීමේදී පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ට හා පාක්ෂිකයන්ට බලපාන නීතිය ආණ්ඩුවේ පාර්ශ්වයට අදාළ කරගෙන නැතැයි ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අද(24දා) පැවසීය.
මේ තත්ත්වය වැළැක්වීමට මැතිවරණ කොමිසම වහාම පියවර ගතයුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයන්ත සමරවීර මහතා,
“අපට පෙනෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලපාන මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ නීති එක්සත් ජාතික පක්ෂයට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහජනතා විමුක්ති පෙරමුණට බලපාන්නේ නැති බව. පෝස්ටර් ඇලවීමේදී, පත්‍රිකා බෙදීමේදී, කැන්වසින් කිරීමේදී අපට පනවන නීති ඒ අයට අදාළ කර නැහැ.
ඒ වගේම රාජ්‍ය සම්පත් විශාල වශයෙන් මේ මැතිවරණය සඳහා යොදවාගන්නවා. උදාහරණයක් ලෙස නිවාස සංවර්ධන අධිකාරියේ සියලු මානව සම්පත්, වාහන දැන් සජිත් ප්‍රේමදාස ඇමතිවරයා හම්බන්තොට ඡන්ද වැඩට යොදාගෙන. ආණ්ඩුවේ ඇමතිවරු මහා පරිමාණයෙන් භාණ්ඩ බෙදාදෙනවා, නිවාස ආධාර දෙනවා, සහනාධාර දෙනවා. ඒවාට එරෙහිව මැතිවරණ කොමිසමේ සභාපතිතුමන්ගේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ" යනුවෙන් පවසා සිටියේය.