කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් කඩාගෙන පළායමින් සිටියදී අත්අඩංගුවට ගෙන අලුත්ගම පොලීසියේ රඳවාගෙන සිටි සැකකරුවෙකු විදුලි පහන් වීදුරු කටුවකින් උදරය ප්රදේශය කපාගෙන තුවාල කරගැනීම හේතුවෙන් නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.
පානදුර හිරණ පදිංචි 30 හැවිරිදි සැකකරු අද (08දා) දහවල් අලුත්ගම, කළුවාමෝදර, ශ්රමදාන පාරේ ගමන් කරමින් සිටි 17 හැවිරිදි කාන්තාවකගේ ගෙල බැඳි රුපියල් 30,000 ක් පමණ වටිනා රන් මාලයක් කඩාගෙන පළායමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
යතුරුපැදියේ වේගය පිළිබඳව සැකකළ මාර්ග මුර සංචාරක පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඔහු පසුපස ලුහුබැඳ තිබේ.
යතුරුපැදියේ වේගය පාලනය කරගත නොහැකිවීමෙන් සැකකරු යතුරුපැදිය සමග පෙරළී පාරේ වැටී ඇත. අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන පොලීසියට ගෙන ආ බවත්, පසුව සැකකරු වීදුරු කටුවකින් උදරය කපාගත් බවත් අලුත්ගම පොලීසිය පවසයි.
චතුරිකා ජයරත්න